හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත් කෙටුම්පතක් සකස් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කැබිනට් රැස්වීමේදී පෙරේදා (16) අනුමැතිය හිමිව තිබේ. කාලත්‍රයාට ලැබෙන විශ්‍රාම වැටුප, කාර්ය මණ්ඩලයට ලැබෙන දීමනා, නිවාස ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට දී ඇති විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමට හැකි වන පරිදි මේ අනුව අංක 1986 අංක 4 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත සහ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත පරිච්ඡින්න කිරීමට පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට අධිකරණ ජාතික ඒකාබද්ධතා ඇමැති හර්ෂණ නානායක්කාර මහතා මේ යෝජනාව ඉදිරිපත් කර තිබිණි. කැබිනට් තීරණ දැනුම් දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (17) ප්‍රකාශ කළේ හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට දී ඇති විශේෂ වරප්‍රසාද අහෝසි කිරීම සඳහා ජනතාව විසින් රජයට ජනවරමක් දී තිබෙන බවයි.
ඒ අනුව වසර හතළිස් ගණනකට පසු විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීම සඳහාත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම සඳහාත් නීතියක් ගෙන එන බවත් එම පනත සම්මත වූ දා සිටම බලපැවැත්වෙන පරිදි හිටපු සහ දැන් සිටින සියලු ජනාධිපතිවරුන්ට මෙහි නීති බලාත්මක බවත් ඇමැතිවරයා අවධාරණය කළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 36 (02) සහ 36 (04) වගන්ති ප්‍රකාරව හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප ආරක්ෂා වී ඇති බව කී ඇමැතිවරයා, එය අහෝසි කළ හැකි වන්නේ ව්‍යවස්ථා සංශෝධනයකින් පමණක් බැවින් ඒ සඳහා දැනට ක්‍රියාමාර්ග නොගන්නා බව ද පැවසුවේය. දැනට ජීවත් වන හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනතින් ආරක්ෂා වන්නේ නිල නිවාස, කාර්ය මණ්ඩල, වාහන, ඉන්ධන දීමනා, ආරක්ෂාව ඇතුළු වරප්‍රසාද බැවින් මේ පනත් කෙටුම්පතින් ඒ හිමිකම් සංශෝධනය කරන බවත් කීවේය.
විශ්‍රාම ගිය ජනාධිපතිවරුන්ගේ අයුතු භුක්ති විඳීම් ගැන වගේම මහජන හිමිකම් අයුතු ලෙස භාවිත කිරීම ගැනත් අල්ලස් කොමිසම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පරීක්ෂණ පවත්වන බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය