ගිනි පොලී ණය ගෙවා ගැනීමට නොහැකිව පීඩාවට පත්ව සිටින ලක්ෂ සංඛ්‍යාත ලාංකික කාන්තාවන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා පොළොන්නරුව, හිගුරක්ගොඩ නගරයේදී ආරම්භ කළ සත්‍යග්‍රහය 30 වැනි දිනටත් අද (6) ක්‍රියාත්මක වෙමින් තිබේ.
”ක්ෂුද්‍ර ණය හේතුවෙන් විපතට පත්වූ කාන්තා එකතුව ” විසින් පවත්වන අඛණ්ඩ සත්‍යග්‍රහයේ මුලික ඉල්ලීම් පහකි.
සියලු ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා හැරීම, කොල්ලකාරී ක්ෂුද්‍ර මූල්‍ය ණය පිළිබඳ විගණනයක් කරන තුරු සියලු ණය අයකර ගැනීම වහාම නතර කිරීම, ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයන්ට එරෙහිව ගන්නා සියලු නීති ක්‍රියාමාර්ග නතර කිරීම, ක්ෂුද්‍ර ණය මූල්‍ය වින්දිතයන් අසාදු ලේඛනයෙන් වහාම ඉවත් කිරීම සහ ගැති බවින් තොර සමාජ විමුක්තිය කේන්ද්‍ර කරගත් කාන්තාවන් සතු විධිමත් මූල්‍ය ක්‍රමයක් ස්ථාපිත කිරීම එම ඉල්ලීම් වේ.
පාලකයන් අඛණ්ඩව තම දේශපාලන බල අපේක්ෂාවන් වෙනුවෙන් ක්ෂුද්‍ර මුල්‍ය ණය වින්දිතයන් බරපතල රැවටීමකට හා මුලාවකට ලක් කොට ඡන්දය කොල්ල කාගෙන තම පැවැත්ම තහවුරු කරගත් බවටත් ක්ෂුද්‍ර මුල්‍ය ණය පීඩිත කාන්තාවෝ චෝදනා කරති.
ඔවුන් පවසන පරිදි මේ නිසා ණය බර උසුලාගත නොහැකිව ලාංකික කාන්තාවන් දෙසීයකට අධික පිරිසක් 2020 වසර අවසානය වන විට සියදිවි හානිකරගෙන තිබේ.
අධික පොලිය හේතුවෙන් ණය වාරික ගෙවා ගත නොහැකිව සිටින විසිහතර ලක්ෂයකට අධික මෙරට කාන්තාවන්ට මුල්‍ය සමාගම් සහ ණය එකතු කරන නිලධාරීන්ගේ නින්දා අපහාස ඇතුළු නොයෙක් ආකාරයේ ශාරීරික, මානසික හිංසාවලට ලක් වීමට සිදුව ඇති බවත් එම එකමුතුව පෙන්වා දෙයි.
මෙම ණය කපාහැර කාන්තාවන් පත්ව සිටින අසීරු තත්වයෙන් මුදවාලන ලෙස රජයට බල කරමින් පවත්වන සත්‍යග්‍රහයට දින 30ක් පිරෙන අද දිනයේ පස්වරු 2ට හිඟුරක්ගොඩ නගරයේ දී මහජන රැළියක් සූදානම් කර තිබේ.
ඡායා : ඉෂාර ධනසේකර ෆේස්බුක් ගිණුමෙන් උපුටා ගැනුනි