ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් වලට ණය වී ඇති පුද්ගලයින්ට 6% පොලී අනුපාතිකයකට රු.100,000 ක මුදලක් ලබා දීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ. ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමයට එරෙහිව රට පුරා සිදුවෙමින් පවතින විරෝධතාවයන්ට, විශේෂයෙන්ම අද 26 වැනි දිනය පසු කරන හිඟුරක්ගොඩ ස්ත්රීන්ගේ සත්‍යග්‍රහයට ප්‍රතිචාරයක් ලෙස මෙම මැදිහත්වීම යෝජනා වී ඇත. මෙම ප්‍රවෘත්තියට අනුව ණය පියවා ගැනීම උදෙසා මෙම මුදල ඍජුවම අදාළ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන වලට ගෙවනු ඇත.
ජනතාව, විශේෂයෙන්ම ස්ත්‍රීන්, ක්ෂුද්‍ර මූල්‍ය ණය සමාගම්වලට එරෙහිව විරෝධය නගන්නේ ඒවායේ කොල්ලකාරී බවට සහ සූරාකෑමට එරෙහිවය. මෙය අඩු ආදායම් ප්‍රජාවන් තුල මහා පරිමාණ ණයගැතිබවට හේතු වී ඇති අතර සියදිවි නසා ගැනීම් වැනි බරපතල ප්‍රශ්න එහි ප්‍රථිපල ලෙස මතුව ඇත. යෝජනා කර ඇති රජයේ මැදිහත්වීමෙන් ඇත්ත වශයෙන්ම කරන්නේ මහජන මුදල් යොදවා ලාභ ලබන ක්ෂුද්‍ර මූල්‍ය ණය ආයතන බේරා ගැනීමයි. පෞද්ගලික ව්‍යාපාර වලට ලාභ ලැබීමට බදු ගෙවන ජනතාවගේ මුදල් භාවිතා කිරීමයි.
මෙම රජය ක්ෂුද්‍ර මූල්‍ය ණය අහෝසි කිරීමට පොරොන්දු වී ඇත. මෙය, පසු ගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදීද අප රටෙහි පුරවැසියන්ගෙන් දිළිඳුතම සහ වඩාත්ම ආන්තිකකරණයට ලක්වුණු පිරිසකට කරන ලද ප්‍රධානම ඡන්ද පොරොන්දුවකි. යෝජිත මැදිහත්වීම එම පොරොන්දුව ඉටු කිරීමක් නොවන අතර ඔවුන්ව තව දුරටත් ණයගැති බව තුල රඳවන්නකි. ඊටත් වඩා මෙතැන ප්රශ්නය වන්නේ, ක්ෂුද්‍ර මූල්‍ය ණය සමාගම් වල ආචාර ධාර්මික නොවන සූරාකෑමේ ක්රමයන් ගැන එම සමාගම් වග වීමක් මෙම මැදිහත්වීම තුල අවශ්‍ය නොවීමයි. තවද, ඉදිරියේදී මෙවැනි ආකාරයේ ණය බර ඇති නොවීමට කිසිදු යාන්ත්‍රණයක් මෙම මැදිහත්වීම තුල නැත. මෙම ක්ෂේත්රයේ ප්රතිසංස්කරණයක් හෝ නියාමනයක් හෝ විගණනයක් හෝ යෝජනා වී ඇත්තේද නැත. ඒ වෙනුවට, නොයෙක් ආකාරයෙන් එම ව්‍යාපාර ආරක්ෂා කිරීමක් සිදු වේ. ජනතාව තවත් ණය බරක සිර වෙන අතර (වඩා සාධාරණ කොන්දේසි වලට අනුව යැයි රජය පවසයි) මෙම අර්බුදයට හේතු වූ කොල්ලකාරී සූරාකෑමේ ක්‍රමවේදයන් කිසිදු අයුරකින් සැලකීමට ගෙන නැත. ඉතින්, ක්ෂුද්‍ර මූල්‍ය ක්රමයේ වින්දිතයින්ට මෙය සාධාරණ විසඳුමක් වන්නේ කෙසේද?
Progressive Women's Collective