පොලිස් හිංසනය ට්‍රෙන්ඩ් එකක් වෙලා ද?

තුර්කියේ අභ්‍යන්තර කටයුතු ඇමති කියන මේ “එල්ජීබීටී ඔල්මාදකරුවන්” කවුරුන් ද?

ඉස්තාන්බුල් විශ්ව විද්‍යාලයක එල්ජීබීටී ප්‍රජා සාමාජීකයන්ගේ විරෝධතා රැල්ලක් මධ්‍යයේ තුර්කි පොලීසිය විසින් සිසුන් දොලොස් දෙනකූ රඳවා ගෙන තිබේ.

තුර්කියේ ඉස්තාන්බුල් නගරයේ බොගසි විශ්ව විද්‍යාලයේ සිසුන් සහ පොලීසිය අතර ගැටුමක් ආරම්භ වූයේ ඉකුත් ජනවාරි මාසයේ දී ජනාධිපති රිසෙප් ටයිප් එර්දොගන් උග්‍ර එල්ජීබීටී විරෝධී රාජ්‍ය නිලධාරියකු ජ්‍යෙෂ්ඨ තනතුරක් සඳහා පත් කිරීමත් සමඟයි.

මෙම විරෝධතා නිසා මේ වන විට පුද්ගලයන් 600 දෙනෙකු පමණ රැඳවුම් භාරයට ගෙන ඇති අතර, තුර්කියේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය සුලෙයිමාන් සොයිලු ඔවුන් හැඳින්වූයේ "එල්ජීබීටී ඔල්මාදකරුවන්" ලෙස ය.

ඉස්ලාමයේ වඩාත්ම පූජනීය ස්ථානය වන කාබා පල්ලිය අසල දේදුනු වර්ණ නිරූපණය වන අන්දමේ කලා කෘතියක් නිර්මාණය කළ විශ්ව විද්‍යාල සිසුවෙකු සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණයකට විරෝධය දැක්වීමට එක් ශිෂ්‍ය කණ්ඩායමක් ඉකුත් බ්‍රහස්පතින්දා (25) දින කටයුතු කළ අතර, මෙමඟින් තුර්කි බලධාරීන් සහ සිවිල් වැසියන් අතර ඝට්ඨනයන් උත්සන්න වී තිබිණි. රොයිටර් පුවත් සේවය වාර්තා කරන අන්දමට අත්අඩංගුවට පත් වූ ශිෂ්‍යයින් සත් දෙනෙකුටම එරෙහිව නඩු පවරා තිබෙන්නේ වෛරය ඇවිලවීමට කටයුතු කළ බවට චෝදනා ගොනුකරමින්.

මෙම ශිෂ්‍යයින් ඉස්ලාමික ඡායාරූප දේදුනු වර්ණයත් සමඟ සම්මිශ්‍රණය කරමින් ඡායාරූපයක් ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇති බවයි රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල වෙත මුදා හැර තිබුණු වීඩියෝ පටයක දැක්වූයේ රජය අනුගමනය කළ එල්ජීබීටී විරෝධී ප්‍රතිපත්තියට විරෝධය පෑම මත අත්අඩංගුවට පත් සිසුන් මුදා ගැනීම සඳහා විශ්ව විද්‍යාල පරිශ්‍රය අසල උද්ඝෝෂණයේ නිරත වන සිසුන් හට පොලීසිය විසින් පහර දෙන දසුන් ය.

අසාධාරණ අන්දමින් අත්අඩංගුවට පත්වූ සිසුන් නිදහස් කර ගැනීමේ අරගලය නතර නොකරන බවට මෙම විශ්ව විද්‍යාල සිසුන් මාධ්‍ය වෙත පවසා තිබිණි. ඔවුන් පෙන්වා දෙන්නේ අදාළ විරෝධතා සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ එල්ජීබීටී සොයුරු සොයුරියන් හට වධහිංසා පැමිණවීම, පහරදීම සහ අපයෝජනය කිරීමට මෙම පොලිස් නිලධාරීන් කටයුතු කරන බවයි.

තුර්කියේ සිවිල් පුරවැසියන් සහ බලධාරීන් අතර ඝට්ඨනය මෙතැනින් අවසාන නොවේ. ඉකුත් දිනක තුර්කි ජනපතිවරයා කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කරනු ලබන ඉස්තාන්බුල් සම්මුතියෙන් ඉවත් වීමට කටයුතු කිරීමත් සමඟ එරට ප්‍රභල විරෝධයක් හට ගෙන තිබිණි. එරට කාන්තා ලිංගික අපයෝජනය සහ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩ ක්‍රියා වල මෑත කාලීන ඉහළ යාම හමුවේ තුර්කි රජය නිහඬ ප්‍රතිපත්තියක් දැරීම ජාත්‍යන්තරයේ මහත් අවධානයට යොමු වී තිබේ.

තුර්කිය තුළ සමලිංගිකත්වය නීතිවිරෝධී යැයි අර්තකථනයක් නොමැති මුත් සමරිසි අයිතීන්, හෝ පොදුවේ ලිංගික දිශානතිය සහ ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාව මත පුද්ගලයකු ගේ මානව හිමිකම් සුරක්ෂිත විය යුතු බව සිවිල් අයිතිවාසිකම් යටතේ හඳුනා නොගැනේ. ඒ අනුව, සමරිසි යුවළයන් හට නීතිමය රැකවරණයක් තුර්කිය තුළ නොලැබේ.


© Copyright Claim: Bridge to Equality පිටුව සතුය.

167152460 143409837700797 2972151079522883606 n

Search