ඇමති ධුර ලබා දීමේදී ජ්‍යෙෂ්ඨයන් කපා දමලා: ශ්‍රී.ල.නි.ප. ඇතුලෙත් ගෝරි

 

ඉකුත් මහා මැතිවරණයෙන් පසු අමාත්‍ය ධුර සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් නම් කර යැවීමේදී ජ්‍යෙෂ්ඨත්වය පිළිබඳ කිසිදු සැලකීමක් නොදක්වා නායකයන්ගේ බත් බැලයන් නම් කර යැවූ බව පවසමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තරයේ මේ වන විට බරපතල ගැටුමක් ඇවිලෙමින් පවතින බවට විශ්වසනීය ආරංචි ලැබී තිබේ.

පසුගියදා පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේ දී එම විරෝධතාවක පුපුරා ගොස් තිබේ. එහිදී මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් පුශ්ප කුමාර මහතා විසින් සභාව අමතමින් ප්‍රකාශ කර ඇත්තේ තමා පක්ෂයේ ලේකම්වරයාට සහ භාණ්ඩාගාරිකවරයාටත් වඩා ජ්‍යෙෂ්ඨ බවත් කිසිදු විටෙක පක්ෂය හැර නොගොස් ඉතා අසීරු අවස්ථාවන් වලදී පවා පක්ෂය රැකගැනීමට කැපවී ක්‍රියා කළ බවත් ය.

ඔහු ඉතා හැගුම්බරව පක්ෂය සමග සිටින පිරිස්වලට පක්ෂ නායකත්වය සැලකිල්ලක් නොදක්වන්නේ මන්දැයි විමසා තිබේ.

එහිදී වහා මෛත්‍රීපාල සිරිසේන මැදිහත් වෙමින් පවසා ඇත්තේ ජගත් පුෂ්පකුමාර මෙතරම් ජ්‍යෙෂ්ඨයකු බව තමා නොදන්නා බවයි.

වසර 13 පක්ෂයේ මහ ලේකම් වරයා වූ ද, වසර පහක් තිස්සේ පක්ෂ නායකත්වය ද දරන ඔහු ජගත් පුෂ්පකුමාරගේ ජ්‍යෙෂ්ඨත්වය නොදන්නා බව පැවසීම හාස්‍යට කරුණක් යැයි පැමිණ සිටි පිරිස විවේචනය කිරීම නිසා ඔහු පිරිස ඉදිරියේ මහත් අසීරුතාවයට පත්ව තිබේ.

සුපුරුදු පරිදි පක්ෂ ලේකම් දයාසිරි සහ භාණ්ඩාගාරික ලසන්ත ඇඟ බේරාගැනීමේ උත්සාහයක නිරත වුව ද මධ්‍යම කාරක සභිකයින්ගේ දැඩි විවේචනයට ලක් වීමට ඔවුන්ට සිදු විය.

අවසානයේ සිරිසේන සභාපතිවරයා ජගත් පුෂ්පකුමාරට ඉතා ඉක්මනින් සාධාරණය ඉෂ්ට කරන බවට පොරොන්දු වී තිබේ.

Search