රටේ අනාගත වත්කම අපේ දරු පරපුරයි’- ජනපතිගේ ලෝක ළමා දින පණිවුඩය

 ‘රටේ අනාගත වත්කම අපේ දරු පරපුරයි’භෞතික සහ මානසික දරිද්‍රතාව දුරුකළ පුරවැසියන් වාසය කරන රටක් ගොඩනැඟීම තමාගේ ඒකායන අපේක්‍ෂාව බව ජනපති ගෝඨාභය රාජපක්‍ෂ ලෝක ළමා දිනය වෙනුවෙන්

පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටී.

එම පණිවුඩය සම්පූර්ණයෙන් මෙසේය.

”රටේ අනාගත වත්කම අපේ දරු පරපුරයි. ඔවුන් දැනුමෙන් පෝෂණය කොට කුසලතා වර්ධනය සඳහා අවස්ථාව සලසා දීම සමස්ත සමාජයේම වගකීම වන්නේය. දරුවන්ගේ කායික මානසික පෝෂණය මෙන්ම යහපැවැත්ම තහවුරු කිරීම ප‍්‍රමුඛ කාලීන අවශ්‍යතාවකි.

රටක් ජාතික හෝ ජාත්‍යන්තර සංවර්ධන නිර්ණායක කොපමණ දුරට ළඟාකර ගත්තද, සමාජය මානව දයාව බඳු යහගුණ පිරි මනුෂ්‍යයන්ගෙන් තොර නම් එය පතිරූප දේශයකැයි මම විශ්වාස නොකරමි. එවන් රටක් ගොඩනැගීමට අපි සියලූදෙනා ගුණ නැණ මෙන්ම ශිල්පීය වශයෙන් ද භාෂාමය ඥානයෙන් ද දරු පරපුර සන්නද්ධ කළ යුතුය.

භෞතික සහ මානසික දරිද්‍රතාව දුරු කළ පුරවැසියන් වාසය කරන රටක් ගොඩනැගීම මගේ ඒකායන අපේක්‍ෂාවයි. එබඳු රටක දරුවන් සතුටින්, සැනසීමෙන්, සුවයෙන් වාසය කරනු නියතය. ඒ නියතය අත්දකින අත්විඳින පරපුරක් ගොඩනැඟීමට ඔබේ දරුවාගේ ළමා කාලය ඔබ කල්පනාකාරීව මෙහෙයවනු ඇතැයි මම සිතමි. මෙවර ලෝක ළමා දින තේමාව වන ‘අපේ රට අපේ දෑතින්’ යන්න යථාර්ථයක් කර ගත හැක්කේ එවිටය.

Search