මෙරට ළමයින් වෙනුවෙන් රජය ලබාදෙන සැලකිල්ලේ තරම පාලකයින්ගේ ප්‍රතිපත්ති සම්පාදන වලින් ඔප්පු වෙන
බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය පවස යි.
ළමා අයිතිවාසිකම් දුර්වල කරන ප්‍රතිපත්ති ගන්න මේ කාලයේ ළමා ආරක්ෂණ පද්ධතිය සම්පුර්ණයෙන්ම කඩා වැටි ඇති බවයි ප්‍රගතිශීලි ස්ත්‍රී එකමුතුව විසින් අද (30) පැවැත්වූ මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ඇය ප්‍රකාශ කළේ.
"අපි ප්‍රවෘත්තියක් බලනකොට හැමදාම අහන්න ලැබෙන්නේ ළමයි මුහුණපාන ඛේදවාචක. ළමා අපයෝජන, සෞඛ්‍ය ප්‍රශ්න, අධ්‍යාපන ක්ෂේත්‍රය මේ හැම අතින්ම අහන්න ලැබෙන්නේ අසුභ ප්‍රවෘත්ති. ඒ ප්‍රවෘත්ති දකින කොට ලංකාවේ ළමයි ඉන්නේ මොනවගේ තත්වයක ද කියන එක අපිට ප්‍රශ්න කරන්න වෙනවා."
ළමා ආරක්ෂණ පද්ධතිය සම්පුර්ණයෙන්ම කඩා වැටිලා
"මේ සියලුම ප්‍රවෘත්ති වලින් පෙන්නන්නේ මේ වෙනකොට ළමා ආරක්ෂණ පද්ධතිය සම්පුර්ණයෙන්ම කඩා වැටිලා කියන එක. ළමා ආරක්ෂණ පද්ධතියක් කියන එකෙන් අපි අදහස් කරන්නේ ළමයෙක්ට සතුටින් ආරක්ෂිතව ජිවත් වෙන්න නම් ඒ පරිසර සහ ව්‍යුහය අවශයි කියන එක. පවුල ද, පාසලද, ප්‍රජාව ද, සෞඛ්‍ය සේවාව ද ඒ හැම අතින්ම සම්පුර්ණ වුනහම තමයි ළමයෙක්ගේ ජීවිතය ආරක්‍ෂිත වෙන්නේ. ඒ කියන්නේ ළමයින්ගේ ජිවිතවලට මැදිහත් වෙන වැඩිහිටියන්ගේ ජිවිත ආරක්‍ෂිත වෙන තරමට සහ ඔවුන්ට තමන්ගේ වගකීම් ඉටුකරගන්න පුළුවන් වෙන තරමට තමයි ළමයින්ගේ ජිවිතත් ආරක්‍ෂිත වෙන්නේ. මේ පද්ධතීන් කඩා වැටෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම ළමයින්ගේ ජිවිත ආනරක්ෂිත වෙනවා. ඒ අනුව අපිට දනින්නට ලැබෙන්නේ මේ ව්‍යුහයම කඩා වැටීම නිසා ළමයින්ගේ ජිවිත එන්න එන්නම අනාරක්ෂිත වෙනවා."
"ළමයින් මුහුණ දෙන ගැටළු එක අතකින් පැහැදිලි කරන්නේ අපේ මුළු පද්ධතියම කඩා වැටිලා, අනාරක්ෂිත වෙලා කියන එකයි. රටේ වගකිව යුතු පුද්ගලයින් මොනවා ප්‍රකාශ කළත්, ප්‍රතිපත්ති ගත්තම ළමුන්ගේ ජිවිත වලට දෙන ප්‍රමුඛතාවය මොකක්ද කියන එක අපිට හොඳටම තේරුම් ගන්න පුළුවන්."
ප්‍රසුති නිවාඩු, කිරි පැය හරි අඩකින් කප්පාදුයි
"මම එක උදාහරණයක් ගන්නම්. උපාධිධාරීන් සංඛ්‍යාවකට රැකියා ලබාදෙන්න රජය තීරණය කරලා තියෙනවා. නමුත් ඒ එක්කම ඒ උපාධිධාරීන්ගේ ප්‍රසුති නිවාඩු බාගයකින් කපලා. දින 84ක් තියන එක 42 කරලා. 'කිරි පැය' කියන එකත් බාගයකින් කපලා. ළමයින්ට අපි ප්‍රමුඛතාවයක් දෙනවා නම් ළමයින් ගැන පරම
අයිතියක් තියෙන දෙමව්පියන්ට ඒ ළමයින්ව බලාගන්න පුළුවන් වාතාවරණයක් හදන්න ඕන."
"අපි එක පැත්තකින් කියනවා ස්ත්‍රීන්ට වැඩ කරන්න එන්න කියලා. රැකියා දත්ත ගත්තම දැනටත් අපේ රැකියා ක්ෂේත්‍රයේ කාන්තාවන්ගේ සහභාගිත්වය අඩුයි. ඒ ප්‍රතිශතය වැඩි කරන්න නම් අපි ඉස්සරවෙලා හඳුනාගෙන ඉන්න ඕන ස්ත්‍රියකට තියෙන වගකීම් මොනවද ඊට අවශ්‍ය සහන සේවාව සපයන්නේ කොහොමද කියලා."
ඉපදිච්ච් දරුවා පවා අනාරක්ෂිත
"දැන් මේ විදියට ප්‍රසුති නිවාඩු කැපුවම ස්ත්‍රියක් කොහොමද රැකියාවක් කරන්න පෙළඹෙන්නේ. තියෙන පෙළඹීමත් නැතිවෙනවා අනික් අතින් දරුවන්ට අපි දෙන ප්‍රමුඛතාවය මොනවගේ එකක් ද කියලා මෙතනින් ඔප්පු වෙනවා. මවකගේ අයිතිය, දරුවට ආරක්ෂාව දීමේ වගකීම අහිමි කරනවා. ඉපදිච්ච් දරුවා උනත් අනාරක්ෂිත තත්වයකට තල්ලු කරන ප්‍රතිපත්ති තමයි මේ ගන්නේ."
"ශිෂ්ඨත්වය කරා යන සමාජ කතා කරන්නේ දරුවකුගේ වගකීම මව විතරක් නෙවෙයි පියාත් කොහොමද බෙදාගන්නේ කියන එක. දරුවා බලාගැනීමේ නිවාඩු පියාගේත් වගකීමක් හැටියට අපේ බොහෝ සමාජවල කතා වෙනවා. බොහෝ සමාජවල දැන් අනිවාර්ය කරලා තියෙනවා දරුවෙක් ඉපදුනම පියාටත් නිවාඩු ගන්න එක. දෙදෙනෙකුගේ වගකීම තියෙනවා කියන එක දැන් සමාජය පිළිඅරගෙන තියෙන්නේ."
මවගේ අයිතිවාසිකම උදුරගනියි
"අපි මොකද කරන්නේ අඩුම තරමේ මවට තිබ්බ අයිතිවාසිකම වත්, දශක ගණනාවක් අරගල හරහා ස්ත්‍රීන් දිනාගත් අයිතිවාසිකම කප්පාදු කරලා තියෙනවා. ස්ත්‍රියගේ විතරක් නෙවෙයි ළමයාගේ අයිතිවාසිකමත් උදුරාගෙන තියෙන්නේ. එවැනි ප්‍රතිපත්ති ගන්න පරිසරයක් තුල මොන ළමා ආරක්ෂණයක් ගැන ද අපි කතා කරන්නේ. ළමයිට ආදරෙයි කියලා බොරුවට උස්සලා ඉඹින එක එක පැත්තකින් කරන ගමන් අනික් පැත්තෙන් අත්‍යවශ්‍ය ප්‍රතිපාදන කපනවා. ළමා අයිතිවාසිකම් දුර්වල කරන ප්‍රතිපත්ති ගන්න මොහොතක තමයි අපි මේ ඉන්නේ. අපි මේ සම්බන්ධයෙන් අවබෝධයක් ඇතිව විචාරශීලිවමැදිහත් වීමට අවශ්‍යයි"