මියාමි හි පැවති ආයෝජන සංසදයක දී එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් “ඊළඟට කියුබාව” යැයි ප්‍රකාශ කර තිබෙනවා.
එහිදී ඔහු වෙනිසියුලාවේ සහ ඉරානයේ එක්සත් ජනපද හමුදා ක්‍රියාමාර්ගවල සාර්ථකත්වයන් සම්බන්ධයෙන් ද අදහස් දක්වා ඇති බවයි වාර්තා වන්නේ.
ජනාධිපතිවරයා කියුබාව සමඟ හරියටම කුමක් කිරීමට සැලසුම් කරන්නේද යන්න නිශ්චිතව සඳහන් නොකළද, දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින හවානාහි රජය බිඳවැටීමේ අද්දර සිටින බවයි ඔහු පවසා තිබෙන්නේ.
“මම මේ ශ්‍රේෂ්ඨ හමුදාව ගොඩනඟා ගත්තා. මම කිව්වා, ‘ඔබට එය කිසි විටෙකත් භාවිත කිරීමට සිදු නොවනු ඇත’ කියලා. නමුත් සමහර විට ඔබට එය භාවිත කිරීමට සිදුවෙන්න පුළුවන්. ඒ වගේම කියුබාව ඊළඟට ඉන්නේ,”
යැයි ට්‍රම්ප් සමුළුව හමුවේ පවසා සිටියා.
කියුබාවේ ආර්ථිකය තෙල් ආනයන බාධා හේතුවෙන් පීඩාවට පත්ව ඇති අතර, විදුලි බලාගාර සහ ප්‍රවාහනය පවත්වාගෙන යෑම තෙල් ආනයනය මත රඳා පවතිනවා.
ජනවාරි මාසයේදී බලයෙන් පහ කරන ලද වෙනිසියුලානු නායක නිකොලස් මධුරෝ අල්ලා ගැනීමේ එක්සත් ජනපද මෙහෙයුමට පෙර, වෙනිසියුලාව කියුබාවේ තෙල් අවශ්යතාවන්ගෙන් වැඩි ප්‍රමාණයක් සපයා තිබුණද, වොෂින්ටනයේ පීඩනය යටතේ කැරකස්හි නව රජය එම නැව්ගත කිරීම් අවසන් කර තිබෙනවා.