'වෙසක් උත්සවයෙන් නැති ‘ආරක්ෂාවට තර්ජන’ පල්ලියේ මංගල්‍යයෙන් මතුවන්නේ ඇයි ?'

'වෙසක් උත්සවයෙන් නැති ‘ආරක්ෂාවට තර්ජන’ පල්ලියේ මංගල්‍යයෙන් මතුවන්නේ ඇයි ?'

උතුරේ අධිආරක්ෂිත කලාපයක් තුලට මහ පිරිසක් රැස්කර වෙසක් උත්සව පවත්වන රජයේ හමුදා මයිලට්ටියේ ආරක්ෂාවට තර්ජනයක් යයි කියා පාමින් කනික්කෙයි මාතා පල්ලියේ මංගල්‍යය පැවැත්වීමට ඉඩ නොදීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ තරුණ බහුජන සංවිධාන ක්‍රියාධරයකු යාපනයේ පලාලි හමුදා කදවුරේ ප්‍රධානියකුගෙන් ප්‍රසිද්ධියේ දැඩි ලෙස ප්‍රශ්න කර තිබේ.


"කමොන්ඩෝ බංගලාව ඉස්සරහ තියෙන පල්ලියේ මංගල්‍යයට අවසර ගන්න අපි හැමතැනකටම ගියා. මෙහෙ ඉන්න හැම රජයේ නිලධාරියෙක්ම මේ ප්‍රශ්නය දන්නවා. අද ආරක්ෂාවක් නැහැ කියලා අපිට මංගල්‍ය කරන්න අවසර දුන්නේ නැහැ. ආඥාපතිතුමාගෙන් මම දෙයක් අහනවා. පලාලි හන්දියේ දාහකට වැඩිය මිනිස්සු රැස්කරලා වෙසක් උත්සවයක් සැමරුවා. එහෙම තියෙද්දී අපි පල්ලියේ මංගල්‍යයක් සමරද්දී විතරක් කොහොමද ආරක්ෂාවට ප්‍රශ්නයක් මතු වෙන්නේ?"

2026 මාර්තු 27 වැනිදා ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්ගේ ප්‍රධානත්වයෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීමේදී මයිලට්ටි නැවත පදිංචි කිරීමේ සංගමයේ සාමාජික දේවරත්නම් ඇන්ටනි සුභාස් අමාත්‍යවරයා හමුවේ දැඩි ලෙස අවධාරණය කර තිබුනේ පලාලි ගුවන් තොටුපල සංවර්ධනය සදහා දෙමළ ජනතාවගේ පෞද්ගලික ඉඩම් බලහත්කාරයෙන් අත් පත් කරගෙන සිටින රජය මේ දක්වා ඉඩම් හිමියන් සමග කිසිදු අවස්ථාවක විවෘත සාකච්ඡාවක් හෝ පවත්වා නොමැති බවයි.


"රජයේ උවමනාවකට ඉඩමක් අත්පත් කරගත්තොත්, ඒකට වන්දි ගෙවන්න ඕනේ. එහෙම නැත්නම් ඒ ගැන සාකච්ඡාවක් ඉඩම් අයිතිකාරයා එක්ක කරන්න ඕනේ. අද වෙනකල් මේ සම්බන්ධයෙන් මොකුත්ම කරලා නැහැ. අපි අහන්නේ මේකයි, ගුවන්තොටුපළ ලොකු කරනවා නම්, සංවර්ධන කටයුත්තක් කරනවා නම් ඒකට ඉඩම් දෙන්න ජනතාව සූදානම්. ඒත් රජයත්, නිලධාරිනුත් ජනතාව එක්ක කෙලින් කතා කරලා ගුවන් තොටුපොළට අවශ්‍ය ඉඩම් ප්‍රමාණය කියන්න ඕනේ. ඒකට ඇතුළත් වෙන ඉඩම්වලට වන්දි දෙන එක ගැන ජනතාව එක්ක කතා කරන්න පුළුවන්. අනිත් ඉඩම් ටික නිදහස් කරන්න පුළුවන්. ඒත් ආණ්ඩුව මේ ගැන විවෘතව අපිත් එක්ක කතා කරලා නැහැ."



පලාලි ගුවන් තොටුපල සංවර්ධනය සදහා රජය විසින් අත්පත්කරගෙන සිටින දෙමළ ජනයාට අයත් ඉඩම් අක්කර 1600 ක පමණ භුමිය යුද හමුදාව විසින් වැඩි වශයෙන් වගා කටයුතු සදහාත්, එම නිෂ්පාදන අළෙවිය සඳහා වෙළෙඳසල් පවත්වාගෙන යෑමටත් භාවිතයට ගන්නා බව පෙන්වා දුන් මයිලට්ටි නැවත පදිංචි කිරීමේ සංගම් ක්‍රියාධරයා  ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්ට අවධාරණය කර තිබුනේ හමුදාවේ එම ක්‍රියාකලාපය ප්‍රදේශයේ දෙමළ ජනතාවගේ ජීවිකාවට මරු පහරක් එල්ල කරන බවයි.



"අද ආඥාපති තුමා කිව්වා, අක්කර 2008කින් අක්කර 1600කට වැඩි ප්‍රමාණයක් එයාලා ළඟ තියෙනවා කියලා. ඒ අක්කර 1600 තියාගෙන හමුදාව මොනවාද කරන්නේ? වැඩියෙන් කරන්නේ ගොවිතැන් කටයුතු විතරයි. එහෙම ගොවිතැන් කරලා ඒවා එයාලාගේ සුබ සාධන කඩවල්, සැලූන්, පොඩි පොඩි කඩ දාගෙන එයාලාගේ දේවල් විකුණද්දී, එහෙ ඉන්න සාමාන්‍ය මිනිසුන්ට ආදායම් නැති වෙනවා. ඔයාලාට මේක සාමාන්‍ය ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. තවත් අවුරුදු 10කින් එහෙ ජීවත් වෙන මිනිසුන්ගේ ජීවනෝපායට මේකෙන් බලපෑමක් ඇති වෙනවා."


ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් වත්මන් ජනාධිපතිවරයා මෙන්ම ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යවරයාත් ජනතාවට ලබා දුන් පොරොන්දු කඩ කර ඇති ආකාරයත් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීමේදී දේවරත්නම් ඇන්ටනි සුභාස් සිහි පත් කර තිබුනේ මෙලෙසිනි.

 

"අපි එක දෙයයි අහන්නේ. ඉඩම් නිදහස් කිරීම ගැන හරි තීරණයක් කියන්න. බලයට ආවායින් පස්සේ ජනාධිපතිවරයා දෙසැරයක් මයිලට්ටිවලට ආවා. ඒ වෙලාවේ ජනතාවගේ ඉඩම් ජනතාවට කියලා කිව්වා. අන්තීමට ආපු වෙලාවෙත් ඒක තමයි කිව්වේ. ඔයා මැතිවරණ ප්‍රචාරයට ආපු වෙලාවෙත් ආරෝග්‍ය මාතා පල්ලියේදී පොරොන්දුවක් වුණා ඔයාලාගේ ඉඩම් නිදහස් කරලයි ආයෙත් හමුවෙන්න එන්නේ කියලා. අද වෙනකම් මේ ගැන කිසිම පියවරක් අරන් නැහැ."

 

"මිනිසුන් අවුරුදු 36ක් ඉඩම් නැතිව ඉන්නවා. මගේ අම්මා තාත්තා මැරුණාම මට ඒ ඉඩම දෙන්න කවුද ඉන්නේ?" යනුවෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීමේදී ප්‍රශ්න කළ දේවරත්නම් ඇන්ටනි සුභාස් ඉඩම් ප්‍රශ්නය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට මීට වඩා හොද අවස්ථාවක් නොලැබෙන බව අවධාරණය කරමින් එම කමිටුව හමුවේ වැඩි දුරටත් ඉල්ලා  තිබුනේ වලිකාමම් උතුරේ  මිනිසුන්ට අගෞරව නොකරන ලෙසයි.

ඉඩම් ගැටළුව විසදීමට රජය මැදිහත් නොවන්නේනම් විරෝධතා මගට බැසීම හැර ඉඩම් අහිමි වුවන්ට වෙනත් විකල්පයක් නොමැති බව ඔහු එහිදී තව දුරටත් අවධාරණය කර තිබුනි.

 palali meeting

 

Search