සුරේෂ් සලේ: 'ආණ්ඩුව ගහන්නේ වැරදි ඉලක්කයකට' - වාසුදේව

සුරේෂ් සලේ: 'ආණ්ඩුව ගහන්නේ වැරදි ඉලක්කයකට' - වාසුදේව

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ගය දේශපාලන පළිගැනීමක් පමණක් නොව,

එය රටේ ජාතික ආරක්ෂාවට එල්ල කරන මරු පහරක් බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසයි.



වත්මන් රජයේ මෙම ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කළ වාසුදේව නානායක්කාර අවධාරණය කර සිටියේ, ආණ්ඩුව සැබෑ වරදකරුවන් හඹා යනවා වෙනුවට දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව වැරදි ඉලක්ක වෙත යොමු වී ඇති බවයි.



බුද්ධි අංශවල ස්වාධීනත්වය අනතුරේ

සුරේෂ් සලේ වැනි ඉහළ පෙළේ බුද්ධි නිලධාරීන් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන මෙම නීතිමය ක්‍රියාමාර්ග හරහා බුද්ධි අංශ සතු ස්වාධීනත්වය සහ විශ්වසනීයත්වය බිඳ වැටෙන බව ද වාසුදේව පෙන්වා දෙයි.

බුද්ධි අංශ නිලධාරීන් දේශපාලන අවශ්‍යතා මත මෙලෙස හිරිහැරයට ලක් කිරීම, ඉදිරියේදී ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින විශ්වාසය පළුදු කිරීමට හේතුවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

"ආණ්ඩුව උත්සාහ කරන්නේ සැබෑ අපරාධකරුවන් අත්හැර දේශපාලනමය වශයෙන් තමන්ට අවශ්‍ය පුද්ගලයන් පමණක් කොටු කර ගැනීමටද?" යනුවෙන් වාසුදේව නානායක්කාර මෙහිදී ප්‍රශ්න කර සිටියේය.

දේශපාලන කරළියේ ඇතැම් රහසිගත තොරතුරු කාන්දු වීමත් සමඟ පාලක පාර්ශවය තුළ පවතින අභ්‍යන්තර අර්බුද මේ වන විට නිරාවරණය වෙමින් පවතින බවත්, මෙම අත්අඩංගුවට ගැනීම එවැනි අර්බුද වසා ගැනීමට ගන්නා උත්සාහයක් විය හැකි බවත් ඔහුගේ ප්‍රකාශ කර සිටියේය.

සැබෑ යුක්තිය පසඳලීම පසෙකලා, ජාතික ආරක්ෂාවේ කොඳුනාරටිය බඳු බුද්ධි අංශ ප්‍රධානීන් දඩයම් කිරීමේ ආදිනව ඉදිරියේදී ආණ්ඩුවටම විඳීමට සිදුවනු ඇති බව වාසුදේව නානායක්කාර වැඩිදුරටත් අනතුරු ඇඟවීය.

 

 

සුරේෂ් සලේ, පැය 72ක රැඳවුම් නියෝග යටතේ රඳවා ගනී

පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (පෙබරවාරි 25) අත්අඩංගුවට ගනු ලැබූ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂක සුරේෂ් සලේ, පැය 72ක රැඳවුම් නියෝග යටතේ රඳවා ගෙන ප්‍රශ්න කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ, අත්අඩංගුවට ගනු ලැබූ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂකවරයා සම්බන්ධයෙන් පැය 72ක කාලයකින් පසුව ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තීරණය කරනු ලබන බවය.

"පොලිස් අධිකාරිවරයෙකුට පුළුවන් ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයෙක්ව රඳවා ගෙන පැය 72ක කාලයක් ප්‍රශ්න කරන්න. මේ කාලයෙන් පස්සේ අවශ්‍ය නම් තවදුරටත් ඉදිරියට ප්‍රශ්න කරන්න රැඳවුම් නියෝග ගන්න පුළුවන් දවස් 90කට. එහෙම නැත්නම් අධිකරණයක් හමුවට පමුණුවලා මුදා හරින්න පුළුවන්." පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

'පැහැදිලි සාක්ෂි මත සැකකරු අත්අඩංගුවට අරගෙන තියෙනවා'

සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම පිළිබඳව නිල වශයෙන් දැනුම් දීමට බදාදා (පෙබ. 25) පොලිස් ප්‍රධානීන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්විණි.

එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, "උදෑසන 7:50ට පෑලියගොඩ පොලිස් වසමේදී" රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ මේජර් ජෙනරල් තුවාන් සුරේෂ් සලේ අත්අඩංගුවට ගත් බව ය.

"මේ අත්අඩංගුවට ගැනීමට හේතු වූයේ, විශේෂයෙන් ඔබ දන්නවා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශනවල ප්‍රතිඵලවලට සමගාමීව අනාවරණය වී ඇති පැහැදිලි සාක්ෂි," ඔහු පැවසීය.

මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ මාධ්‍යවේදීහු හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා අත්අඩංගුවට ගත් හේතුව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්තගෙන් අවස්ථා කිහිපයකදී ප්‍රශ්න කළහ.

ඊට පිළිතුරු දෙමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ, ඔහු අත්අඩංගුවට ගත් "සම්පූර්ණ හේතුව" ප්‍රකාශ කළ නොහැකි බවත් එය ප්‍රකාශ කළ හැක්කේ විමර්ශන අනුව බව ත් ය.

"මොකද අද උදේ අත්අඩංගුවට ගත්තේ. මෙතන ඉන්න අපි කිසි කෙනෙක් ප්‍රශ්න කරන්නවත් කිසි දේකට සහභාගි වුණේ නැහැ. ඒ නිසා ඉදිරියේදී ඒක අපිට තීරණය කරන්න පුළුවන්, අත්අඩංගුවට ගන්න හේතුව. නැවත වරක් කියන්නම් මේ පාස්කු ප්‍රහාරයට යම් කිසි සම්බන්ධයක් තිබෙන බවට සාක්ෂි තිබෙන නිසයි අත්අඩංගුවට අරන් තියෙන්නේ.



පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු කව්ද ?

ප්‍රහාරයේ මහ මොළකරු ලෙස හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී මේජර් ජෙනරල් සුරේෂ් සලේගේ නම සඳහන් වුණු අතර පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස දැයි එම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළේ ය.

"මොහුගෙන් කරන ප්‍රශ්න කිරීම් මත වැඩිදුර විමර්ශනවලින් තීරණය කෙරෙයි ඔහු ද මහ මොළකරු, තවත් කෙනෙක් එතන ඉන්නවා ද කියලා," ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත ඊට පිළිතුරු දෙමින් පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මීට පෙර ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන නොමැති දැයි මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ, "මීට පෙර ඔහුගෙන් ප්‍රකාශ සටහන් කළ බවක් දැනගන්න නැතැයි," යනුවෙනි.

 

[theleader,lk] 

Search