හියුමන් ඉමියුනිග්ලොබින් එකම සමාගමකින් ඉහල මිලකට දිගටම රජය ගනිමින්

හියුමන් ඉමියුනිග්ලොබින් එකම සමාගමකින් ඉහල මිලකට දිගටම රජය ගනිමින්

 

පසුගිය කාල සීමාව තුළ හියුමන් ඉමියුනිග්ලොබින් ඖෂධය මිලදී ගැනීම සම්බන්ධයෙන් රජයට සිදුව ඇති දැඩි ආර්ථික පාඩුවක් සිදුවන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

අදාළ ඖෂධය තෝරාගත් එක් සමාගමකින් පමණක් අධික මිලකට මිලදී ගැනීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බව පෙන්වා දෙන ඒ මහතා, මෙය වැළැක්වීම සඳහා නියාමන අධිකාරිය විසින් නිසි ප්‍රමිතිකරණ තත්ත්ව යටතේ ඖෂධ සැපයීමට කැමති වැඩි සමාගම් සංඛ්‍යාවක් ලියාපදිංචි කර, ඔවුන්ට ටෙන්ඩර් ක්‍රියාවලිය සඳහා ඉදිරිපත් වීමට අවස්ථාව ලබා දිය යුතු බව සඳහන් කරයි.

මීට අමතරව, අධික මිලට ගෙන්වන ලද මෙම ඖෂධය භාවිතය නිසා රෝගීන් සැලකිය යුතු ප්‍රමාණයක් මියගිය බවට හෝ සංකූලතා ඇතිවූ බවට කලින් කලට චෝදනා එල්ල වී තිබෙන බැවින්, අදාළ ඖෂධය මිලදී ගැනීමේ ක්‍රියාවලිය, තාක්ෂණික ඇගයීම් කමිටු ක්‍රියාවලිය, ඖෂධය මිලදී ගැනීම සඳහා අදාළ වෛද්‍ය විද්‍යාඥයින්ගේ ආයතනය මගින් ලබා දුන් නිර්දේශ, මෙන්ම ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන්ද විශේෂ විමර්ශනයක් පැවැත්විය යුතු බව ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

තෝරාගත් සමාගම්වලට වාසිදායක වන ආකාරයෙන් අදාළ ඖෂධය මිලදී ගැනීම සඳහා යම් තාක්ෂණික කමිටුවක් පසුගිය කාලයේදී කටයුතු කර ඇත්දැයි සොයා බැලිය යුතු බවත් ඔහු පවසයි.

අඛණ්ඩව සංකූලතා සහ මරණ වාර්තා වන තත්ත්වයක් යටතේ, පසුගිය සිදුවීම් සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය කමිටුවක් සහ අධිකරණ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවක් මගින් විශ්ලේෂණාත්මක වාර්තාවක් සකස් කර, ඒ අනුව අනාගත ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව කටයුතු කළ යුතු බවද ඒ මහතා අවධාරණය කරයි.

Search