පොලිස්පතිතුමනි, අපි ඔබතුමාගෙන් තවත් පූජිත් ජයසුන්දර කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ නැති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ (08) දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. එහිදී කාරියවසම් මහතා මෙසේද පැවසුවේය.
මේ වෙද්දි රටේ ඉතාම බරපතල ප්‍රශ්නයක් ඇති කර තිබෙනවා. ඒ තමයි මත්ද්‍රව්‍ය නිෂ්පාදනය. අපි මේ වනතුරු පක්ෂයක් ලෙස කියමින් සිටියා මේ අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ආණ්ඩුව පත්වූ පසු මේ රටේ කිසිදු අලුත් නිෂ්පාදනයක්, කර්මාන්ත ශාලාවක්, කිසිදු දෙයක් ආරම්භ වෙලා නැහැ කියලා. හැබැයි අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති වූ පසු අපිට දැන් සාක්ෂි තිබෙනවා එක කර්මාන්ත ශාලාවක් ආරම්භ කර තිබෙනවා කියලා. ඒ නුවරඑළියේ අයිස් කියන මත්ද්‍රව්‍ය නිපදවන කර්මාන්ත ශාලාවක් ආරම්භ කර තිබෙනවා කියන තොරතුර අපිට ලැබී තිබෙනවා. මේ තොරතුරත් සමඟ පහුගිය දවස්වල කෙහෙල්බද්දර පද්මේ කියලා පුද්ගලයෙක් ලංකාවට ගේනවා. මේ කියන පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා රතු වරෙන්තුව නිකුත් කළේ ඔබලාගේ රජය විසින්ද? නැතිනම් කලින් තිබූ රජය විසින්ද? ඒ රතු වරෙන්තුව මත තමයි මේ අත්අඩංගුවට පත්වුණේ. අපට දැනගන්න තිබෙන තොරතුරු අනුව මේ රතු වරෙන්තුව නිකුත් කර තිබෙන්නේ පසුගිය රජය මඟින්.
ඒ වගේම මේ රටේ ඉතිහාසයේ දරුණුම, භයානක චෝදනාව ලෙස කිසිදු පරීක්ෂාවකින් තොරව රතු ලේබල් සහිත කන්ටේනර් 323 ක් නිදහස් කළා. වරායේ රේගුවේ ඉතාම දැඩි තදබදය තිබුණු කාලසීමාව තමයි කොවිඩ් කාල සීමාව. ඒ කොවිඩ් කාල සීමාවේ වැඩකරන්න අවශ්‍ය සේවකයෝ නොසිටීම, නිලධාරීන්ගේ හිඟකම ආදි විවිධ කරුණු නිසා මෑත ඉතිහාසයේ වැඩිම තදබදය ඇතිවුණු කාලය කොවිඩ් කාලසීමාව. නමුත් කොවිඩ් කාලසීමාවෙවත් එක රතු ලේබල් සහිත කන්ටේනරයක්වත් පරීක්ෂා කිරීමකින් තොරව නිදහස් කිරීමක් රේගුව විසින් සිදුකර නැහැ. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට රේගුවේ බොරු තදබදයක් මවලා කියලා දැන් කතාව තිබෙන්නේ. එවැනි තදබදයක් ඉන්පසු තිබුණෙත් නැහැ, ඊට කලින් තිබුණෙත් නැහැ. රේගු නිලධාරී සංගමය ප්‍රකාශ කරන්නේ කිසිසේත්ම නිදහස් නොකළ යුතුව තිබූ රතු ලේබල් සහිත බහාලුම් 323 ක් නිදහස් කළ බවට. ඒ විතරක් නොවේ 323 ට අමතරව ඒ ආසන්න කාල සීමාව තුළ තවත් මෙවැනිම වූ ආකාරයේ රතු ලේබල් සහිත කන්ටේනර් විශාල ප්‍රමාණයක් නිදහස්වී ඇති බව කියනවා. මේ කන්ටේනර් වල අර්චුනා මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කර සිටියා මෙහි ප්‍රභාකරන්ගේ ඒ අවස්ථාවේ ලංකාවට ගෙන ඒමට නොහැකි වූ අවි ආයුධ තිබුණු කන්ටේනර් තිබුණා කියලා. ඊට අමතරව විවිධ සැක සංකා මතු වුණා මත්ද්‍රව්‍ය සහ තහනම් ද්‍රව්‍ය, මුදල් මෙම කන්ටේනර් වල තිබුණා කියලා. අපි මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර තිබෙනවා. නමුත් අද වනතුරු මේ පැමිණිල්ලට පිළිතුරක් නැහැ.
වගේම පොලිස්පතිතුමාගෙන් මේ ප්‍රශ්න කිහිපය අහන්න කැමති. මේ ප්‍රශ්නගත බහාලුම් දෙක ලංකාවට පැමිණියේ කවදාද? මේ කන්ටේනර් මුදාහරිනු ලැබුවේ කවදාද? මෙම අදාළ කන්ටේනර් දෙකට සම්බන්ධයෙන් බුද්ධිමය තොරතුරක් ලැබී තිබුණාද? නැතිද? ඒ දැනුම්දීම නොසලකා පරීක්ෂාවකින් තොරව මෙම කන්ටේනර් නිකුත් කර ඇතිද? මේ කන්ටේනර් නිකුත් කර ඇත්තේ කා වෙතද? මේ කාරණය සම්බන්ධයෙන් අපි සිතනවා පොලිස්පතිතුමා ඉතාම සාධාරණව,දේශපාලනයෙන් තොරව පිළිතුරු ලබාදෙයි කියලා. පොලිස්පතිතුමනි, අපි ඔබතුමාගෙන් තවත් පූජිත් ජයසුන්දර කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් දැනට පෙනෙනුයේ ඔබතුමා යන ගමන වැරදි, ඒ නිසා අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ පක්ෂ දේශපාලනයෙන් මිදිලා කරුණාකරලා මේ තොරතුරු මේ රටේ ජනතාවට ඉදිරිපත් කරන්න.