කන්න බොන්න නැතුව හිටපු රටට ජීවය දුන්න නායකයා රනිල් -- රුවන් මුල මතක් කරයි !

කන්න බොන්න නැතුව හිටපු රටට ජීවය දුන්න නායකයා රනිල් --  රුවන් මුල මතක් කරයි !

කන්න බොන්න නොතිබූ රටකට ජීවය දුන් නායකයා ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිසිවිටෙක අමතක නොකළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ නායකයන්ගේ සහභාගීත්වයෙන් කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේ අද (23) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

එම අවස්ථාවට එජාප සභාපති වජිර අබේවර්ධන, මහ ලේකම් තලතා අතුකෝරල, ජාතික සංවිධායක සාගල රත්නායක, උපනායක අකිල විරාජ් කාරියවසම් සහ උප සභාපති නවීන් දිසානායක යන මහත්වරුන් ඇතුළු නායකයන් රැසක් සහභාගී වූහ.

“අද මේ රට පාලනය වන්නේ ක්‍රෝධයෙන්, වෛරයෙන්, තණ්හාවෙන්ද කියලා අපට ප්‍රශ්න කරන්නට සිදුවෙනවා. රනිල් යනු මිනිසුන්ට කන්න බොන්න නැති මොහොතේ ජීවය දුන් නායකයා. කවුරුත් රටේ අභියෝගය භාර නොගත් මොහොතේ රනිල් වික්‍රමසිංහ නිර්භයව ඉදිරිපත් වී රටේ ජනතාව ජීවත් කළා,” යැයි එහිදී රුවන් විජයවර්ධන පැවසීය.

ඒ මහතා තවදුරටත් කියා සිටියේ, අගමැති ලෙස කටයුතු කරද්දී පවා සිය නිවස ගිනි තබා තිබියදීත්, බිය නොවී රටේ ආර්ථිකය යළි ගොඩනැගීමට වික්‍රමසිංහ ජනාධිපතිවරයා කටයුතු කළ බවයි. “එවැනි පුද්ගලයෙක්ට මෙවැනි දෙයක් වීම ගැන ඇත්තටම අප කනගාටු වෙනවා,” යැයිද ඔහු පැවසීය.

අධිකරණයට ගරු කළද, ඇතැම් යූ ටියුබ් චරිත අධිකරණ තීන්දු කලින් ප්‍රකාශ කිරීම බරපතළ ප්‍රශ්නයක් බවත්, සෑම දෙයක්ම දේශපාලනීකරණය වී ඇත්නම් එය බරපතළ තත්ත්වයක් බවත් විජයවර්ධන මහතා අවධාරණය කළේය.

“එදා අරගලකරුවන් කිව්වේ සිස්ටම් චේන්ජ් එකක් අවශ්‍ය බවයි. ඒ අරගලකරුවන් බලාපොරොත්තු වුණේ මේ වගේ සිස්ටම් චේන්ජ් එකක්ද? මෙහෙම ගියොත් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට වෙන්නේ මොකක්ද?” යනුවෙන්ද ඒ මහතා ප්‍රශ්න කර සිටියේය

Search