කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් වී සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට අගෝස්තු 29 දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය ඊයේ (20) නොතීසි නිකුත් කළාය.
අල්ලස් කොමිසම විසින් මෝසම් පත්‍රයක් ගොනු කරමින් සිදුකළ කරුණු දැක්වීම සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අපරාධ නඩු විධාන සංග්‍රහයේ 60 (1) වගන්තිය ප්‍රකාරව සැකරුට නොතීසි නිකුත් කළාය.
ඒ අනුව මෝෂන් පත්‍රය කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි සහකාර නීති අධ්‍යක්ෂ සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය පැවසුවේ, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 60(1) වගන්තිය ප්‍රකාරව නියෝගයක් ලබා ගැනීමේ අරමුණින් මෙම මෝෂන් පත්‍රය ගොනුකළ බවයි.
ඇය කියා සිටියේ එම වගන්ති ප්‍රකාරව නියෝගයක් ලබා ගැනීමට අවශ්‍ය නම් සාක්ෂි මෙහෙයවීමක් සිදු කළ යුතු බවය.
ඒ අනුව කිරින්ද ධීවර වරායේ වැලි වැලිගොව්වා ධීවර නෞකාව යොදා ගනිමින් සිදු කරන ලද අවිධිමත් ව්‍යාපෘතියක් සම්බන්ධව සිදුකරනු ලබන විමර්ශනය සිදු කරන විමර්ශන නිලධාරීන් දෙදෙනා සාක්ෂි ලබා ගැනීමට කැඳවනු ලැබීය.
අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර නීති අධ්‍යක්ෂ සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මියගේ මෙහෙය වීමෙන් අල්ලස් කොමිසමේ දූෂණ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර සම්පත් පුෂ්පකුමාර සහ එම අංශයේ පොලිස් පරීක්ෂක එම්. විමලරත්න යන අයගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු කෙරුණි.
එම විමර්ශන නිලධාරීන් සාක්ෂි ලබා දෙමින් පැවසුවේ, මෙම සිද්ධියට අදාළව ලද නිර්නාමික පැමිණිල්ලක් අනුව විමර්ශන සිදු කිරීම ආරම්භ කළ බවයි.
ඒ අනුව කිරින්ද ධීවර වරාය තුළ සිදුවූ අවිධිමත් ව්‍යාපෘතියක් හේතුවෙන් ලක්ෂ 262ක මුදලක් ලංකා රජයට පාඩු වී ඇති බවට කරුණු අනාවරණය වූ බව ද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වීය.
එම මූලික විමර්ශනවලින් පසුව සිද්ධියේ සැකකරුවන් ලෙස එවකට ධීවර සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ මහතා සහ එවකට හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නම් කළ බව ඔවුහු කියා සිටියහ.
මේ වන විට සිද්ධියේ පළවෙනි සැකකරු වන උපාලි ලියනගේ යන අය අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අධිකරණ නියෝග අනුව ඇප මත මුදාහැර සිටින අතර දෙවන සැකකරු වන හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අල්ලස් කොමිසම මගහරිමින් සිටින බවට ද විමර්ශන නිලධාරීහු අධිකරණයට දන්වා සිටියහ.
ඔවුන් පැවසුවේ හිටපු අමාත්‍යවරයා හට කොමිසම හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන ලෙස 2025/7/2 දින කොමිසම හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන ලෙසට නොතීසි නිකුත් කර තිබුණ ද ඔහු කොමිසම හමුවේ පෙනී නොසිටි බවයි.
සිද්ධියට අදාළ සැකකාර අමාත්‍යවරයා කොමිසම හමුවේ පෙනී නොසිටිමින් ඔහුගේ නීතිඥවරයකු ලවා කොමිසමට අසනීප බවට කරුණු දක්වමින් වෛද්‍ය වාර්තාවක් ලෙස ඖෂධ වට්ටෝරුවක් එවා ඇති බවට ද විමර්ශන නිලධාරිහු අධිකරණය හමුවේ හෙළි කළහ.
විමර්ශනයට අදාළව කිසිදු අවස්ථාවක සැකකාර හිටපු රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශයක් ලබාදීම සිදුකළ නොමැති බව පැවසූ විමර්ශන නිලධාරීන් කියා සිටියේ අල්ලස් කොමිසම හමුවේ දිගින් දිගටම පෙනී සිටීම මඟහරිමින් සිටින අමාත්‍යවරයා සොයා ගැනීම සඳහා සෝදිසි වරෙන්තු ලබා ගැනීම සිදුවූ බවය.
ඒ අනුව සෝදිසි වරෙන්තු ප්‍රකාරව අමාත්‍යවරයා සිටින බවට සැක කරන ස්ථාන පහක් විමර්ශන නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කරනු ලැබීය. නමුත් එම එකදු ස්ථානයකවත් අමාත්‍යවරයා නොසිටි අතර ඔහුගෙන් ඉදිරි විමර්ශනයට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් මේ වන විට අවසන් අදියරේ තිබෙන මෙම විමර්ශනයේ කටයුතු අඩාළ වී තිබෙන බව ද ඔවුන් අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.
මේ වන විට සැකකරුගේ ජංගම දුරකතනය ද ක්‍රියා විරහිතව පවතින බැවින් ඔහුව සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති බව විමර්ශන නිලධාරිහු අධිකරණයට කරුණු දැක්වූහ.
එබැවින් සැකකාර අමාත්‍යවරයාට අපරාධ නඩු විධාන සංග්‍රහයේ 60(1) වගන්ති ප්‍රකාරව නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අදාළ නියෝගය නිකුත් කරනු ලැබුවාය.