හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ විසින් අභ්‍යවකාශගත කරන ලද සුප්‍රීම් සැට් යානයට සමාගමකින් මුදල් ලබාගත්ත ද ඒ සඳහා ශ්‍රී ලංකා රජය මුදල් ආයෝජනය කර නැතැයි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී ඊයේ (අගෝ. 6) හෙළි කළා ය.
ඊට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක පැවසුවේ, මීට පෙර ඇමති බිමල් රත්නායක විසින් එකී රොකට් යානය, අතුරුදන් වී ඇති බව නමුත් අද වන විට අග්‍රාමාත්‍යවරිය ම පවසන්නේ, එවැනි දෙයක් නොවී ඇති සේම ඊට ලංකාවේ එක රුපියලක් හෝ ආයෝජනය කර නොමැති බවත් මෙම කරුණු එකිනෙකට පරස්පර බවත්ය.
අගමැතිවරිය වැඩිදුරටත් දැක්වූ අදහස් මෙසේ ය,
”2011, 2012 කාලයේදී සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩින්ග්ස් ආයතනයට අනුබද්ධිත සුප්‍රීම් සැට් සමාගම විසින් දියත් කළ සන්නිවේදන චන්ද්‍රිකාව සඳහා ආයෝජනය කර ඇති මුදල පිළිබඳ අහලා තියෙන ප්‍රශ්නය අනුව සුප්‍රීම් සැට් සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුම ගතවී තිබෙන්නේ 2012 මැයි මස 23 වන දින. ඒ 2013, 2014 කාලය තුළ මෙම ආයතනය රුපියල් මිලියන දොළොස් මිලියන එක්ලක්ෂ හාරදහස් නවසිය තිස් හයක් මුදලක් සන්නිවේදන චන්ද්‍රිකාව සඳහා යොදවලා තියෙනවා.
සමාගම විසින් ඉදිරිපත් කර ඇති ආයෝජන අයදුම්පතෙහි තොරතුරු අනුව මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රජය විසින් මුදල් ආයෝජනය කරලා නෑ. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල නීතියේ (17) වන වගන්තිය යටතේ දේශීය වෙළඳපොල කේන්ද්‍ර කරගත් ව්‍යාපෘතියක් ලෙසයි ඒක ආයෝජනය කරලා තියෙන්නේ. රුපියල් මිලියන එක්දාස් අටසිය විසි අටක ආයෝජනයක් සහිතව මහනුවර කාර්මික උද්‍යානයේ චන්ද්‍රිකා පද්ධතියක් පිහිටුවීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා 2012-05-23 දින සුප්‍රීම් එස් එච් එස් ටී පෞද්ගලික සමාගම, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුමකට එළඹ ඇති අතර, මෙම ව්‍යාපෘතිය මගින් ග්‍රාහකයන් සඳහා විදුලි සංදේශ සහ විකාශන පහසුකම් සැපයීමට නියමිතයි. මෙම ව්‍යාපෘතිය 2015-08-27 දින සිට වාණිජ මෙහෙයුම ආරම්භ කර තිබෙනවා. පවතින වාර්තාවලට අනුව, වර්ෂ 2019 වන විට සමාගමේ කොටස් ව්‍යුහය පහත පරිදි වේ.
සුප්‍රීම් ඇසෙල් ඉන්වෙස්ට්මන්ට්ස් පෞද්ගලික සමාගම, කොටස් හතළිස් හත්මිලියන එක්ලක්ෂ අසූදහස් දෙසීයක්. සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩින්ස් පෞද්ගලික සමාගම, කොටස් එකසිය අසූ අට මිලියන තුන්ලක්ෂ හතළිස් හතර දහස් නවසිය හැත්තෑව. අර පළවෙනි එකට සීයට විස්සයි. සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩින්ස් පෞද්ගලික සමාගමට සියයට අසූවයි. ආයෝජන මණ්ඩලය සතු වාර්තා අනුව ශ්‍රී ලංකාවට මුල්‍ය ප්‍රතිලාභ ලෙස සුප්‍රීම් සැට් සමාගම විසින් සඳහන් ආදායම් ලබා තිබෙනවා.
ඒ අනුව වර්ෂ 2015, 2016 ආදායම රුපියල් මිලියන දහනවදාස් හයසිය දාහතයි. 2016, 2017 ආදායම රුපියල් මිලියන විසිඅටදාස් එකසිය තිස් තුනයි. 2017, 2018 විසිනමදාස් එකසිය හයයි. 2018, 2019 තිස්හතරදාස් එකසිය හැට නවයයි. 2019, 2020 හතළිස් දෙදාස් නවසිය හැටයි. 2020, 2021 හැට දෙදාස් පන්සිය හතළිස් පහයි. 2021, 2022 අසූ හත්දහස් හත්සිය අසූ නමයයි. 2023 පලවෙනි මාස හය තුල තිස් නමදාස් පන්සීය අනුවයි. දීලා තියන වාර්තා අනුව කතානායකතුමනි මං මේ පිළිතුර සකස් කරලා තියෙන්නේ. ලැබිලා තියෙන දත්ත සහ තොරතුරු අනුව පමණයි.”
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී.චානක මෙසේ සඳහන් කළේ ය.
“ඕක ලංකාවෙ වැඩියෙන් ම දන්නෙ චිචීගෙ රොකට් එක කිව්වා ම. ඩොලර් මිලියන 300ක් ආයෝජනය කරල අතුරුදන් වෙලා කියල තමයි කිව්වේ. මම මේ ප්‍රශ්නය අහපු දවසෙ බිමල් රත්නායක මහත්තය කිව්වා, අතුරුදන් වෙලා කියලා. දැන් අග්‍රාමාත්‍යතුමිය ම කියනවා එහෙම දෙයක් වෙලා නෑ, ලංකාවේ එක රුපියලක්වත් ආයෝජනය කරලත් නෑ, ඒ වගේ ම අනික් පැත්තෙන් වාර්ෂිකව මිලියන විසි දාහක් ඒ ආකාරයෙන් හැම වර්ගයේ ම රටට ආදායමක් ඇවිල්ල තියෙනව කියලා. ඍජු ආයෝජනයක් ඇවිල්ල තියෙන්නේ. ගිය සතියට උඩින් සතියෙ පාර්ලිමේන්තුවෙ සුනිල් හඳුන්නෙත්ති හම්බන්තොට දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් පහර දුන්නා මේක ලංකාවේ රජයේ ජනාධිපතිතුමාගේ පුතාලට විනෝද වෙන්න කරපු දෙයක් කියල. හැබැයි අද අගාමාත්‍යතුමිය කියනවා, මේකෙන් විශාල ආයෝජනයක් ලංකාවට ඇවිල්ල තියෙනවා, හැම අවුරුද්දක ම ඍජු වාර්ෂික ආයෝජනයක් ලැබිල තියෙනව කියලා.”