කෙහෙල්බද්දර පද්මේ පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ ඕ.යි.සී ට මරණ වරෙන්තුව දෙයි

කෙහෙල්බද්දර පද්මේ පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ ඕ.යි.සී ට මරණ වරෙන්තුව දෙයි

“අපි ප්ලේ කරන්නේ ගේම් එකක්. ඔයත් ප්ලේ කරන්නේ ගේම් එකක්. ඔබතුමාට පවුලක් දරුවෙක් ඉන්නව ඇතිනේ… අපි මරණ සහතිකේ අතේ තියාගෙන ඉන්නේ. අපි මැරෙන්න බය නැහැ. අපිට කරදර කරන්න ආපු උන්ට යහතින් ඉන්න දීලත් නැහැ” යැයි කියමින් විදේශගතව සිටින කෙහෙල්බද්දර පද්මේ නමැති පාතාල නායකයා පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා මහතාට දුරකථනය ඔස්සේ මරණ තර්ජන කර ඇත.

කෙහෙල්බද්දර පද්මේට අයත් උඩුගම්පොළ කෙහෙල්බද්දර ප්‍රදේශයේ පිහිටි හෝටලයක සඟවා තිබූ රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා හෙරොයින් තොගයක් සහ ජීව උණ්ඩ 09ක් ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් විසින් පෙරේදා (03දා) රාත්‍රියේ අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙම තර්ජනය එල්ල කර තිබේ.

විදේශගතව සැඟවී සිටින මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වාගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබාදෙමින් මෙසේ ද තර්ජනය කර ඇත.

“තමුසෙ මගේ කෙහෙල්බද්දර හෝටලේ ගේට්ටු කඩාගෙන ඇතුළට පැන්නා. මම තමුසෙට එෆ් ආර් එකක් (මානව හිමිකම් නඩුවක්) දානවා. කවුරුත් මගේ වැඩවලට මේ විදිහට ඇඟිලි ගහන්නේ නැහැ. මරණ සහතිකේ ලෑස්ති කරලා තියාගනින්” යනුවෙන් කෙහෙල්බද්දර පද්මේ ලින්ටන් මහතාට තවදුරටත් මෙසේ තර්ජනය කර ඇත.

මෙම තර්ජනය හමුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා මහතා ද ඔහුට ප්‍රතිචාර දක්වා ඇත.

“තමුසෙගෙ මරණ වරෙන්තුවලට මම බය නැහැ. පුළුවන් දෙයක් කරපන්. කොහෙ හරි රටක හැංගිලා ඉඳගෙන චණ්ඩිකම් දාන්නේ නැතිව පුළුවන්නම් ලංකාවට ඇවිත් මුහුණට මුහුණ හැප්පියං නියම පිරිමියෙක් වගේ. උඹ රට රටවල හැංගිලා හිටියට උඹේ පවුලේ උන් ඉන්නෙත් මෙහෙනේ. අපි ගේට්ටු කඩාගෙන හෝටලේට ඇතුළුවෙලා අල්ලපු දේවල් තව ටිකකින් එළියට දානවා බලාගනින්” යැයි කියමින් ලින්ටන් මහතා පද්මේට ප්‍රතිචාර දක්වා ඇත.

කෙහෙල්බද්දර පද්මේ නමැති පාතාල නායකයාගේ කල්ලියේ මහ මොළකරු ලෙස හැඳින්වෙන ගම්පහ ‘දේවා’ නමැත්තා කටුනායක ගුවන්තොටුපළ හරහා තායිලන්තයට පලායෑමට උත්සාහ ගනිද්දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා පෑලියගොඩ අපරාධ කොට්ඨාසය වෙත භාරදී තිබිණි.

දේවාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී කෙහෙල්බද්දර පද්මේට අයත් උඩුගම්පොළ පිහිටි හෝටලයක් පරීක්ෂා කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා එහි සඟවා තිබූ හෙරොයින් ග්‍රෑම් 440ක් සහ ජීව උණ්ඩ 09ක් සොයාගෙන තිබේ.

මෙම හෝටලයට ඇතුළු වී හෙරොයින් අත්අඩංගුවට ගැනීමෙන් පසු උරණ වූ කෙහෙල්බද්දර පද්මේ නමැති පාතාල නායකයා එම වැටලීම කළ ලින්ටන් මහතාට මෙසේ තර්ජනය කර තිබිණි.

බස්නාහිර උතුරු පළාත භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතාගේ උපදෙස් මත මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Search