අගෝස්තු 31කට කලින් වත්කම්-බැරකම් ප්‍රකාශ නොදෙන නිලධාරීන්ට නඩු

අගෝස්තු 31කට කලින් වත්කම්-බැරකම් ප්‍රකාශ නොදෙන නිලධාරීන්ට නඩු

වත්කම් සහ බැරකම් ප්‍රකාශ ආයතන ප්‍රධානියා වෙත අගෝස්තු 31 දින වන විටත් භාරදීමට අපොහොසත් වන නිලධාරීන් හට 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 90 වගන්තිය ප්‍රකාරව නඩු පැවරීමට පියවර ගනු ලබන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිලධාරීන්ට දැනුම් දී තිබේ.

වත්කම් – බැරකම් ප්‍රකාශ කඩිනමින් භාර දී නියම විය හැකි පරිපාලන දඩ මුදල අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස එම කොමිෂන් සභාව දන්වා තිබේ.

වත්කම් – බැරකම් ප්‍රකාශ ප්‍රමාද වී භාර දෙන නිලධාරීන්ගෙන් දඩ අය කිරීමක් සිදු කරන අතර මෙතෙක් තම වත්කම් සහ බැරකම් ප්‍රකාශ භාර නොදුන් නිලධාරීන් සිටී නම් එම ප්‍රකාශ ආයතන ප්‍රධානියාට භාර දී නියම විය හැකි පරිපාලන දඩ මුදල අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස එම කොමිෂන් සභාව දන්වා තිබේ.

මේ වර්ෂයේ මාර්තු 31 දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබා දිය යුතු නිලධාරීන් අදාළ වත්කම් සහ බැරකම් ප්‍රකාශ, ආයතන ප්‍රධානියා වෙත භාර දිය යුතු අවසාන දිනය ජුනි 30 බව එම කොමිසම දැනුම් දී තිබිණි.

මේ අතර, ජුනි 30 දිනට පසුව ඉදිරිපත් කරන වත්කම් සහ බැරකම් ප්‍රකාශ ආයතන ප්‍රධානීන් භාරගත යුතු අතර යම් හෙයකින් ආයතන ප්‍රධානීන් එසේ භාර ගැනීම ප්‍රතික්ෂේප කරයි නම් ඒ පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වත්කම් සහ බැරකම් අංශය දැනුවත් කරන ලෙස කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි

Search