රුපියල් කෝටි හාරසිය තිස් තුනකට අධික (4,334,997,188) මහා පරිමාණ වැට් බදු පැහැර හැරීම් සිදුකර සිර දඬුවම් ලැබූ සමාගම් 5ක අධ්‍යක්ෂවරුන්ගෙන් හිඟ බදු අයකර ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පියවර ගනිමින් සිටින බව වාර්තා වේ.
ඒ අනුව, මෙම සමාගම්වලට හෝ එහි අධ්‍යක්ෂවරුන්ට අයත් දේශීය හා විදේශීය නිශ්චල හා චංචල දේපළ පවරා ගැනීම හෝ වත්කම් පවරා ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටියි.
එහිදී යාන වාහන, යන්ත්‍ර සූත්‍ර, සමාගම් කොටස්, ස්ථාවර තැන්පතු ආදී මොන යම් හෝ දේපළකින් හිඟ බදු මුදල අයකර ගැනීමට පියවර ගනිමින් සිටින බවට වාර්තා වේ.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසන්නේ, ඒ සඳහා මෙම සමාගම් අධ්‍යක්ෂවරුන්ගේ තොරතුරු පරීක්ෂා කරමින් සිටින බව ය.
සිර දඬුවම් විඳීමෙන් පසුව නිදහස් වූ නමුත් මෙතෙක් බදු මුදල් ගෙවීමට අපොහොසත් වූ මෙම සමාගම්වල අධ්‍යක්ෂවරුන්ගේ හා සමාගම්වල තොරතුරු අනාවරණය විය.
මෙම වැට් බදු මුදල් පැහැර හැරීම සිදුකළ සමාගම් හා පුද්ගලයන්ගේ තොරතුරු මෙසේ ය.
කේ. ඒ. ගීත ප්‍රසංග රුපියල් 46,655,028ක වැට් බදු මුදලක් පැහැර හැර තිබේ. එම සමාගම් අධ්‍යක්ෂවරයා මේ වන විටත් සිර දඬුවම් විඳිමින් සිටියි.
සමාගම් අධ්‍යක්ෂවරුන් වන ආර්. ජී. ඇන්ඩ්‍රාඩෝ රුපියල් 40,066,805ක් සහ ජේ.ඒ. ජයසුන්දර 31,134,367ක හිඟ බදු ගෙවා නැති අතර මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්ෂවරුන් වන අර්ජුන ඇලෝසියස් සහ ඇන්තොනි ජෝන් 3,983,937,872 ක මුදලක් ගෙවා නැති බව වාර්තා වේ.
එසේ ම, සමරනායක සහ සමාගම, අධ්‍යක්ෂවරුන් එච්.ඒ.ඒ.ආර්.එම්. සමරනායක, ශ්‍රී රජෝර් ෂම්මුගනාදන් සහ ජී.එම්.එම්. තුෂානි රුපියල් 19,283,204ක් වැට් බදු පැහැර හැර තිබේ.
එම සමාගම පැහැර හරින ලද තවත් රුපියල් 213,919,912ක වැට් බදු මුදලක් ඇත. එම සමාගම යොමුකළ ප්‍රතිශෝධන අයැදුම්පත සලකා බලා මහාධිකරණයෙන් ඇප නියම කර ඇත.
මේ අනුව සමාගම් අධ්‍යක්ෂ කේ. ඒ. ගීත ප්‍රසංග මේ වනවිටත් දඬුවම් විඳිමින් සිටින අතර අනෙකුත් සමාගම්වල අධ්‍යක්ෂවරුන් සියලු ම දෙනා සිරදඬුවම් විඳීමට පසුව නිදහස් වූ අය නමුත් ඔවුන්ගෙන් බදු මුදල් අයකර ගන්නා බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
වැට් බදු ගෙවීම පැහැර හැරීම සිදුකළ විජිත එන්ටප්‍රයිස් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් එච්. එම්.එම්.බී. ගුණසේකර සහ ටී.කේ. අමරසිංහ රුපියල් 32,512,815ක හිඟ බදු මුදල මේ වන විට ගෙවා ඇත.
එසේ ම, නෝර්ත් සී සමාගමේ අධ්‍යක්ෂවරුන් වන ඇන්ටොනි එමිලින් පයිල්, සෙබස්තියන් ජූඩ් සහ ඇන්තොනි ප්ලැසිඩස් ද රුපියල් 66,105,672ක හිඟ බදු ගෙවා තිබේ