සංවර්ධනය ඉල්ලූ ජනතාව ඒ වෙනුවට වන අලි කළමනාකරණ රක්ෂිතය ඉල්ලා අරගල කළේ ඇයි?

වල් සපුගල වසර හයක අරගලය කියවමු

වල් සපුගල ගොවි ජනතාවගේ දින 86 ක අඛණ්ඩ සත්‍යග්‍රහයකින් පසුව වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කර ඇත. මෙය ජනතා ජයග්‍රහණයක් සහ ගොවි ජනතාව වන සතුන් වෙනුවෙන් හා සොබාදහම වෙනුවෙන් ගෙනගිය අරගලයක ප්‍රතිඵලයකි. එමනිසා මේ අරගලය මෙම ජයග්‍රහණය දක්වා ආ ගමන පිළිබඳ කෙටි සටහනක් ලිවීමට උත්සාහ කරමි.

හෙක්ටයාර 23,746ක භූමි ප්‍රමාණයකින් යුතු ප්‍රදේශයක් එම වනඅලි කළමණාකරණ රක්ෂිතය ලෙස නම් කර ඇති අතර එම භූමියේ පිහිටා ඇති හෙක්ටයාර 866 කින් යුත් ගුවන් තොටුපොළ ලෙස නම්කර ඇති භූමි ප්‍රමාණය ඉන් ඉවත් කර තිබේ. මෙයට අදාල ගැසට් පත්‍රය මේ වන විට නිකුත් කර තිබේ. වන සත්ව හා වෟක්ෂලතා අඥාපනතේ 2 වගන්තියේ දෙවන උපවගන්තිය අනුව අමාත්‍යවරයාට පැවරෙන බලතල අනුව 2021 අප්‍රේල් 09 වන සිකුරාදා දින අංක 2222 / 62 යටතේ මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත.

වල් හපුගල වන අලි රක්ෂිතයක අවශ්‍යතාවය
හම්බන්තොටට වන අලි රක්ෂිතයක අවශ්‍යතාවය පැන නගින්නේ 2009 වසරේ යුද්ධය අවසන් වීමත් සමඟම ජාතික භෞතික සැලැස්ම ක්‍රියාත්මක කිරීම රජය විසින් ආරම්භ කිරීමත් සමගය. එහි එක් ව්‍යාපෘතියක් ලෙස හම්බන්තොට මහානගර සැලැස්ම ක්‍රියාත්මක විය. එම නිසා හම්බන්තොට, සූරියවැව, තිස්සමහාරාමය, ලුණුගම්වෙහෙර තණමල්විල ආදී ප්‍රදේශ ගණනාවක්ම ඉතා සීඝ්‍ර ලෙස කැලෑ කැපීම ව්‍යාප්‍ත වෙමින් පැවතිණි.

විශේෂයෙන්ම පැරණි හම්බන්තොට පුළුල් කිරීමේ ව්‍යාපෘතිය යටතේ හම්බන්තොට වරාය, හම්බන්තොට නගරය, ක්‍රීඩා පිටි, මත්තල ගුවන්තොටුපල, සම්මන්ත්‍රණ ශාලා, හෝටල්, අධිවේගී මාර්ග ආදී විශාල ඉදිකිරීම් සඳහා කැළෑ ඉඩම් අත්පත් කරගැනීම සිදුවිය.

2006 වැනි කාලවලදී ඉතාමත් කැලෑබදව තිබූ ප්‍රදේශ විශාල ලෙස එළි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස හම්බන්තොට දිස්ත්‍රික්කයේ අලි මිනිස් ගැටුම ඉතාමත් දරුණු ලෙස වර්ධනය විය .ඒ අනුව 2006 වර්ෂයේදී සාදන ලද වන අලි කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියට අනුව මෙවන් අලි මිනිස් ගැටුමට ගොදුරුවන ප්‍රදේශ වල අලි කළමනාකරණ කලාප ඉදි කිරීමේ ප්‍රතිපත්තියක් එළිදැක්වෙන ලදී.

ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ වන අලි කළමනාකරණ රක්ෂිතය යෝජනා විය.

පැවැති (පවතින) ආණ්ඩුවල චීන හිතවාදී දැක්මේ අතුරු ඵලයක් ලෙස බහුතර ඉඩමි ප්‍රමාණයක් චීන ව්‍යාපෘති වලට ලබාදිම හා ව්‍යාපාරීක අවස්ථාවලට ලබාදීමෙි අවශ්‍යතාවය මත හම්බන්තොට වනාන්තර ඉඩමි කොල්ල කෑම පසුගිය වසර දොළහ තුල වැඩි වශයෙන් සිදුවෙමින් පැවතිණි. එහි ප්‍රතිපලයක් ලෙස වන අලි ඇතුළු සතුන්ගේ වාස භූමි අහිමි වීම, අලි මිනිස් ගැටුම් වර්ධනය වීම්, ප්‍රදේශයේ පුරාණ වාරි පද්ධතිය විනාශ වී යාම හා සතුන්ට හා ගොවි බිම්වලට ජලය හිඟවීම, වනාන්තර ආශ්‍රිත ක්‍රියාකාරකම් හරහා ආර්ථිකය ගොඩ නගාගන සිටි ජනතාවද දුප්පත්කමෙි අන්තයට ඇද වැටීම සිදුවිය.

මෙම සියලු තත්වයන් පදනම් කරගනිමින් හා එහි පීඩාව දැනුන ජනතාව දෙදහස් පහළව වසරේ සිට වන අලි රක්ෂිතය ප්‍රකාශයට පත්කර කැලෑ ප්‍රදේශය ආරක්ෂා කරන ලෙස විවිධ අරගල ගෙන ගිය අතර අවසාන දින අසුහයට පෙර වසර හයක් එම අරගලය අඛණ්ඩව ගෙන යන ලදී. සංවර්ධනයෙන් පිඩාවට පත්වූ ගොවි ජනතාව දෙදහස් නවය වැනි වසර වලදී සංවර්ධන සිහිනය දැක එයට අනුමැතිය දුන්නද එම සිහිනය බිද වැටී එයින් පීඩාවට පත්වන විට ඒ වෙනුවෙන් අරගල කර තමන්ට හා වන සතුන්ට ජයග්‍රහණ ලබාගැනීම වෙනුවෙන් ඉදිරියට පැමිණීම අගය කළ යුතු ක්‍රියාවකි.

168328306 4021254327935564 5291794529270174237 n

සංවර්ධනයට අත එසවු ජනතාව එය වෙනුවට වන අලි කළමනාකරණ රක්ෂිතය ඉල්ලා අරගල කලේ ඇයි?

හම්බන්තොට ජනතාවගේ ආර්ථිකය සමිපුර්ණ වශයෙන් ගොඩ නැගී තිබුනේ කෘෂිකර්මය හා වනාන්තර පදනම් කරගනිමින්ය. විශාල ලෙස වනාන්තර අහිමි විමත් සමගම වන සතුන්ට වාසස්ථාන අහිමි වුවා පමණක් නොව මිනිසුන්ගේ ආර්ථිකය බරපතල ලෙස කඩා වැටුන අතර බරපතල පෝෂණ ඌණතාවයන්ට හා දුප්පත්කමෙි පතුලටම අද වන විට මේ මිනිසුන් ඇදවැටී ඇත.

වනාන්තරයෙන් ලැබූ ආර්ථිකය හා පෝෂණය අහිමිවීමත්, කබන් ප්‍රමාණය ඉහළයාම නිසා උෂ්ණප්ත්වය වැඩි වීමත්, ජල හිඟයන් වලට මුහුණ දීමත්, ඒ සියල්ල සමගින් අලි මිනිස් ගැටුමට ගොවි ජනතාව මුහුණ දීමත් යන සියල්ල එක් වී මෙම අරගලය ආරම්භය සිදුවූයේ දෙදහස් පහළව වසරේදීය.
වනාන්තර අහිමි වීම නිසා තමන්ගේ ජීවිත වලට එල්ලවී ඇති බලපෑම ජයගත හැක්කේ වනාන්තර රකින ලෙස රජයට බලකරමින් අරගල කිරීම බව වටහා ගත් ගොවි ජනතාව සංවර්ධනයට කියා දුන් අවසරයට දුන් මනාපයෙන් වනාන්තර අහිමිවීම හා එහි පිඩාව මනාව වටහා ගන එයට විරුද්ධව පෙළ ගැසීම පැසසිය යුතුය.

1986 සංවර්ධනයට ඇති අයිතිය පිළිබඳ ප්‍රකාශනයෙහි පළමු වෙනි වගන්තියෙහි දැක්වෙන්නේ සංවර්ධනය වීම සඳහා ඇති අයිතිය අහිමි කළ නොහැකි මානව අයිතිවාසිකමක් බවයි. මෙම ප්‍රකාශනයට ජාත්‍යන්තර ප්‍රජාවගේ අතිමහත් සහයෝගයක් ලැබුණි.1992 රියෝ ප්‍රකාශනයේ 3 වන මූලධර්මය මගින් සංවර්ධනයට ඇති අයිතිය සපුරාලීමේ අවශ්‍යතාව නැවත වරක් සහතික කෙරිණි. සංවර්ධනය යනුවෙන් අදහස් කරන්නේ ඇත්ත වශයෙන්ම එය සංවර්ධනය උදෙසාම හෝ එමගින් බිහි කරන ආර්ථික ප්‍රතිලාභ උදෙසාම ක්‍රියාත්මක වන දෙයක් නොවන බව සංවර්ධනය මානව ඉතිහාසයේ සිට සිදුවු යම් යම් ආකාරයන්ගෙන් හඳුනා ගත හැකිය.

එහෙයින් සියලුම ජනතාවන්ට සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමටත් ඒවායෙහි ප්‍රතිලාභ භුක්ති විඳීමටත් අයිතියක් ඇති අතරම එබඳු ව්‍යාපෘති මගින් පරිසරයට ප්‍රතිනිර්මාණය කළ නොහැකි හානියක් සිදු නොවන තැනට වගබලා ගැනීම සම්බන්ධයෙන් එකි රජයන් මෙන්ම ජන සමාජය ද වග බලා ගත යුතුය.

එම නිසා රජය විසින් සොබාදහම වෙනුවෙන් කලයුතු යුතුකමි ඉල්ලා මානව ඉතිහාසය පුරා මිනිසුන් අරගල කරන ලද අතර එවැනි අරගලයන්ගේ ඉතිහාසයට වල්සපුගල වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරවා ගැනීම වෙනුවෙන් සිය දිවි නොතක සටන් කළ සියලු මානව ප්‍රේමීන්ට මෙන්ම මෙම අරගලය ජනතා ජයග්‍රහණයන්ගෙන් නිම කිරීමට වල්සපුගල ගොවි ජනතාවට අප හිස නමා ආචාර කරමු.

රවීන්ද්‍ර කාරියවසම්
පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය

Search