මංගල ක්‍රියාකාරී දේශපාලනයෙන් සමු ගැනීම අපේ ජයග්‍රහණයට ප්‍රබලතම හේතුවක් - දෙමළ ඩය‍ස්පෝරාව

ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය සඳහා, ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වූ යෝජනාව අද (23) වැඩි ඡන්දයෙන් සම්මත විය. යෝජනාවට පක්ෂව ඡන්ද 22 ක් ලැබුණු අතර යෝජනාවට විපක්ෂව, ශ්‍රී ලංකාවට සහාය පළකළේ රටවල් 11 ක් පමණි. ඉන්දියාව, ජපානය ඇතුළු රටවල් 14 ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.

මෙම යෝජනාව සම්මත වීමත් සමග මෙරට මානව හිමිකම් ක්‍රියාකාරීත්වය, ප්‍රතිසන්ධානය සම්බන්ධයෙන් සෘජුව සොය බැලීමේ අවස්ථාව මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයට පැවරෙන අතර එහි ප්‍රගතිය අනුව ඉදිරි සැසිවාරවලදී ගතයුතු ක්‍රියාමාර්ග යෝජනා කිරීමට මානව හිමිකම් කවුන්සිලයට අවස්ථාව හිමි වේ.

මෙවර ඡන්දයේදී තුන්වැනි ලෝකයේ රටවල් බහුතරයක් ශ්‍රී ලංකාව සමග එකට සිටගනු ඇතැයි ශ්‍රී ලංකා රජය බලාපොරොත්තු වූ නමුත් එම රටවල් බහුතරයක් යෝජනාවට පක්ෂවීමට හෝ ස්වාධීනව සිටීමට තීරණය කර තිබෙනවා.

 

Sri Lanka Landmark UN Resolution

ජිනීවාහිදී යෝජනාව සම්මතවීමෙන් පසුව LNW ඇමතූ දෙමළ ඩය‍ස්පෝරාවේ නියෝජි‍තයෙකු සඳහන් කළේ මංගල සමරවීර මහතා ක්‍රියාකාරී දේශපාලනයෙන් සමු ගැනීම මෙම ජයග්‍රහණය ප්‍රබලතම හේතුව වූ බවයි.

British Tamil Conservatives සංවිධානයේ සභාපති, ආචාර්ය අරුජුන සිවානන්දන් මහතා පවසන්නේ මංගල සමරවීර මහතා විදේශ ඇමතිවරයා ලෙස කටයුතු කළේ නම් කිසි ලෙසකින් හෝ මෙම යෝජනාව සම්මත නොවනු ඇති බවයි. අවම තරමින් ඔහු ක්‍රියාකාරී දේශපාලනයේ නිරතව සිටියේ නම් ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටි රටවල් රැසක මතය වෙනස් කිරීමට ඔහු සමත් වනු ඇති බවද සිවානන්දන් මහතා පවසනවා.

2016 වසරේ සිට මෙවැනි යෝජනාවක් සම්මත කර ගැනීමට දෙමළ ඩයස්පෝරාව හැකි සෑම උත්සාහයක්ම ගත් නමුත් මංගල සමරවීර මහතාගේ මැදිහත්වීම හේතුවෙන් එම ජයග්‍රහණය අත්පත් කර ගැනීමට දෙමළ ඩයස්පෝරාව අසමත් වී තිබේ. අර්ජුන් සිවානන්දන් මහතා පවසන්නේ ඩයස්පෝරාව මතු කරන සෑම ප්‍රශ්නයකටම, සිය පෞද්ගලික සබඳතා පවා භාවිතා කරමින් සාර්ථකව මුහුණදීමට මංගල සමරවීර මහතා සමත් වූ බවයි.

මංගල සමරවීර මහතා දේශපාලනයෙන් විශ්‍රාම ගැනීම ලොවපුරා විසිර සිටින සමස්ත දෙමළ ඩයස්පෝරාව ලැබූ විශාලතම ජයග්‍රහණය බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ. ඔහු දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට තීරණය කිරීම සම්බන්ධයෙන් සමස්ත දෙමළ ඩයස්පෝරාවේම ස්තුතිය පුද කරන බවද ඔහු පවසනවා.

වත්මන් රජයේ සිටින කිසිදු ඇමතිවරයකුට හෝ රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකුට හෝ මංගල සමරවීර මහතා සිදුකළ කාර්යභාරයට ලංවීමටවත් හෝ නොහැකි බව පෙන්වා දෙන සිවානන්දන් මහතා පවසන්නේ එය මෙවර ජිනීවා මානව හිමිකම් සැසිවාරයේ දී ඩයස්පෝරාවේ වාසියට හේතු වූ බවයි.

Lanka News Web

Search