සජිත්ගේ දේශපාලන සතිය - ඉරාන තානාපති ගෙන් සජිත්ට පැසසුම්

සජිත්ගේ දේශපාලන සතිය - ඉරාන තානාපති ගෙන් සජිත්ට පැසසුම්

බාල ගල්අඟුරු හෝදමින් සිටි ආණ්ඩුවට පසුගිය සතිය ගත කරන්නට වුණේ තෙල් පෝලිම් මැද ය.

තෙල් පොලිම් කතාව සලේගේ සළුවෙන් වසාගනිමින් සිටි ආණ්ඩුව පිට දැන් තවත් මරාලයක් පාත්වී තිබේ. ඒ මැදපෙරදිග යුද ගැටුම් හමුවේ තෙල්, ගෑස් ඇතුළු අත්‍යාවශය දෑ සපයා ගැනීමත්, ඉරාන යුද නෞකාවකට ශ්‍රී ලංකාව ආසන්නයේ දී ඇමරිකාව එල්ල කළ ටෝපිඩෝ ප්‍රහාරයත් නිසා ය.

 

මැද පෙරදිග ගැටුම් හමුවේ කරළියට ආ කොඳු කතා

අඟහරුවාදා ආරම්භ වූ පාර්ලිමේන්තු සතිය සෑම දිනක ම උණුසුම් වෙද්දී ඉරානයට එල්ලවූ ඇමරිකානු, ඊශ්‍රායල ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින බව විපක්ෂ නායක සජිත් එදින පාර්ලිමේන්තුවේදී ම ප්‍රකාශ කළේ ය.

sajith1

 

“ ඉරානයට එල්ල කළ ප්‍රහාර අපි තරයේ හෙළාදකිනවා. ඒක ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීමක් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ ආටිකල් 2:4 සහ 2:7 උල්ලංඝණය කිරීමක්. ස්වෛරී රටක්වූ ඉරානයට එල්ල කළ ප්‍රහාරය අපි පාර්ලිමේන්තුවක් ලෙස හෙළා දැකිය යුතුයි. රජයත් එම ප්‍රහාරය හෙළා දැකලා ප්‍රකාශ නිකුත් කළාට කමක් නෑ. ඒකට බියවිය යුතු නැහැ.”

 

විපක්ෂ නායක සජිත් එහෙම දැඩි ස්ථාවරයක සිටියත්, අනුර කුමාර ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ මැදපෙරදිග ගැටුම ගැන සිය ස්ථාවරය පැහැදිලි කළේ ඉතාම ඕලාරික අයුරින් ය.

“ අපගේ සථාවරය වන්නේ ඕනෑම යුද ගැටුමක්, ඕනෑම ජන කණ්ඩායමකට හිතකර තත්ත්වයක් නිර්මාණය කරන්නේ නෑ. ඒ නිසා ශ්‍රී ලංකාව හැටියට අපගේ ස්ථාවරය වන්නේ, යුද්ධයට සම්බන්ධ සියලු පාර්ශවයන් කඩිනමින් සාමකාමී කැපවීම් සහ මගපෙන්වීම් කරන ලෙස තමයි අපගේ ස්ථාවරය වන්නේ.” 

මෙය බලා සිටි බොහෝ දෙනෙකු කියන්නට වුණේ, ඉරාන ප්‍රශ්ණයේ දී අනුරට වඩා සජිත්ගේ ස්ථාවරය සෘජු බවය.

මේ ප්‍රකාශයෙන් පසුව සජිත්ට දුරකතන ඇමතුම් රැසක් ලැබුණේ, ඔහු දැරූ ස්ථාවරයට පැසසුම් එක්කරමින්ය. සජිත්ව වටකර ගත් පාර්ලිමේන්තුවේ මුස්ලිම් මන්ත්‍රීවරුන් බොහොමයක් ද කීවේ “ ඔබතුමා කරපු ඒ කතාව විශිෂ්ටයි. ඉරානයට එරෙහිව කරන යුද්ධය අපි හෙළා දැකිය යුතුයි. ආණ්ඩුවේ නිවට බව මේ සිද්ධියෙන් නම් හොඳටම පැහැදිලි වුණා. එයාලා ඉස්සරනම් ඇමරිකන් තානාපති කාර්යාලය වටකරගත්ත ගමන්, අද මීයෝ වගේ හැංගෙනවා, ජනාධිපතිට කෙළින් මේක වැරදි වැඩක් කියලා කියන්න කොන්දක් නෑ. අම්මෝ දැන් තමයි පෙන්නේ මෙයාලා කාටද කඩේ යන්නේ, කාටද පක්ෂග්‍රාහී, කොච්චර නිවට ද කියලා.”

ජනපති අනුරගේ සහ විපක්ෂ නායක සජිත්ගේ මේ කතා දෙකට ‘මව්රට’ ලොකු ප්‍රසිද්ධියක්ද ලබාදී තිබුණේ, ඒ වීඩියෝ දෙකම පෙන්වමිනි. 

 

maurata

 

ඊට සිරස්තලය ලෙස යොදා තිබුණේ “අමෙරිකාව ඉරානයට එල්ල කරපු ප්‍රහාරයට එරෙහිව කෙළින් උත්තරයක් දුන්නේ අනුරද - සජිත්ද? දෙන්නාගේම ප්‍රකාශ දෙක මෙන්න…!'' කියා ය.

 

ඉරාන තානාපතිගෙන් සජිත්ට විශේෂ ස්තුතියක්

ප්‍රහාරවලින් මිය ගිය මැදපෙරදිග කලාපයේ ජනතාව වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙරට පිහිටි ඉරාන තානාපති කාර්යාලයට ගියේ බදාදා හවස ය.

එහි දී  ඉරානය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, කටාර්, සෞදි අරාබිය, ජොර්දානය, කුවේට් ඇතුළු මැදපෙරදිග කලාපයේ සිදුවන යුද ගැටුම් හේතුවෙන් ජීවිත අහිමි වූ ජනතාව වෙනුවෙන් සජිත් සිය ශෝකය පළ කර සිටි අතර මෙම ගැටුම් අවසන් වී මැදපෙරදිග කලාපයට සාමය උදාවේවායි කියා ප්‍රාර්ථනා කළේය.

 

sajith2

 

එහිදී සජිත් සමඟ කෙටි පිළිසඳරක නිරතවූ ඉරාන තානාපතිවරයා කියා තිබුණේ “ අපට එල්ල කරන ප්‍රහාර ඔබ සෘජුව හෙළා දැකලා තිබුණා. එයට ස්තුතියි..! අපේ මියගිය නායකයා ඇතුළු පාලන තන්ත්‍රය ශ්‍රී ලංකාවට කර තිබෙන උදව් වෙනුවෙන් ඔබ හැමවිටම පෙනී ඉන්න බව මට සහතිකයි.” කියා ය.

 

මැදපෙරදිග යුද ගැටුම් හමුවේ අපිට මොකද වෙන්නේ ?

මැදපෙරදිග රටවල උත්සන්න වන ගැටුම්කාරි තත්ත්වය හේතුවෙන් විදේශ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයින්ටත්, සංචාරක කර්මාන්තයටත්, ගුවන් ගමන් කේෂ්ත්‍රයටත්, තේ ඇතුළු මෙරට අපනයන කර්මාන්තවලටත්, විදේශ මුදල් ප්‍රේෂණ හා සෘජු විදේශ ආයෝජන ආදී ක්ෂේත්‍ර ගණනාවකට බලපෑම් එල්ලවිය හැකි බව විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුවට 27(2) ප්‍රශ්ණයක් යොමු කරමින් ය.

 

“ගැටුම ව්‍යාප්ත වීම නිසා ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතවලට තර්ජනයක් ඇති වුනොත්, ඒ අයව ආරක්ෂිතව ගෙන්වා ගන්න, ආරක්ෂාව සලසන්න, වැඩපිළිවෙළක් සකස් කරන්න. මේ වන විටත් බොහෝ රටවල් එවැනි වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන නිසා අපිත් රටක් ලෙස ක්‍රමවේදයක් සකස් කළ යුතුයි. ශ්‍රී ලංකා දූත මණ්ඩල 24 පැය හදිසි ප්‍රතිචාර ඒකක ශක්තිමත් කරලා තියන්න අවශ්‍යයි. මේවා අපි කියන්නේ ආණ්ඩුවේ කකුලෙන් අදින්න, අපහසුතාවයට පත් කරන්න නෙමෙයි, අපි මේවා කියන්නේ ආණ්ඩුවට මතක් කරලා දෙන්න. විපක්ෂයක් විදිහට අපිට කරන්නේ පුළුවන් ජනතාව වෙනුවෙන් ශක්තිමත් ආරක්ෂිත වැඩපිළිවෙළක් හදන්න කියලා ආණ්ඩුවට බලපෑම් කිරීම තමයි.”

 

ඒ වගේම හෝර්මූස් සමුද්‍ර සන්ධිය හරහා නාවික කටයුතුවලට බාධා ඇති වුවහොත් විකල්ප සැපයුම් ක්‍රමවේදවලට අවධානය යොමු කර තිබේ ද යන්නත් විපක්ෂ නායක සජිත් පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්ණ කර සිටියා.

 

“ලෝක වෙළෙදපොළේ ඉන්ධන මිල ඉහළ යෑමෙන් ශ්‍රී ලාංකාවට බලපෑම් එල්ලවෙන්න පුළුවන්, මේ ගැනත් දැඩිව අවධානය යොමු කරන්න, LNG, GAS ප්‍රවාහනයට බාධා එන නිසා ඉදිරියේ දී ගෑස් වෙළඳපොලටත් බලපෑම් එල්ලවිය හැකියි.''

මීට පිළිතුරු දුන් විදේශ කටයුතු ඇමති විජිත හේරත් කියා සිටියේ “ හෝමුස් සමුද්‍ර සන්දිය වසා දැමීමෙන් සිදුවන බලපෑම ගැන අවබෝධයක් ලබාගතයුත්තේ ඔබතුමා ද මම ද කියන එක මේ තියෙන සැපයුම් දාමයත් එක්ක තේරුම් ගන්න පුළුවන්. ඉදිරි මාස කිහිපයේ දී අපේ ඉන්ධන අවශ්‍යතාවට හෝ ගෑස් අවශ්‍යතාවයට බලපෑමක් වෙන්නේ නෑ. දැන් ගත්තත් අපිට බොරතෙල් අගෝස්තු මාසය දක්වා තියෙනවා.”

මේක අහන් හිටපු අජිත් පී. පෙරේරා මන්ත්‍රීවරයා කියා තිබුණේ ''අපරාදේ අපේ ලොක්කත් ඕව අහන්න යන්නේ. මේ ආණ්ඩුවේ තියෙන උද්දච්චකමට ඇනිලා කෙළව ගන්නම තමයි දෙන්න තියෙන්නේ'' කියා ය.

ajith

 

ජාතික ආරක්ෂාවට ටියුෂන් දුන්න අයට නොපෙනුන ඇමරිකන් සම්මැරිනය

දිට්වා ආපදා තත්ත්වය සමග පැනවූ හදිසි නීතිය මාසෙන්, මාසයට දීක් කරමින් රට කරගෙන යන අනුර කුමාර ජනාධිපති ඇතුළු රජයට විපක්ෂ නායක සජිත් අද (06) කනේ පහරක් ගැසුවේ ඇමරිකානු සම්මැරීන් ප්‍රහාරයටත් නොදෙවෙනි ලෙසට ය.

 

“අපි මේ රටේ ජාතික ආරක්ෂාව ගැන ප්‍රශ්ණ කරද්දී ආණ්ඩුව කිව්වා ජාතික ආරක්ෂාව කියන්නේ, රටට එල්ලවෙන තර්ජන සහ විදෙස් රටවල්වල අතපෙවීම් කියලා. ඒනිසා ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැතය, තැන, තැන සිදුවෙන වෙඩිතැබීම්වලට කියන්නේ ජාතික ආරක්ෂාව නොවේය කියලා. එහෙම නම් ආණ්ඩුවේ නිර්වචනයට අනුවම අන්න ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇවිල්ලා. රටේ කිසිම ආරක්ෂක අංශයක් දන්නේ නැතුව, ඇමරිකානු යුධ සම්මැරීනයක් ශ්‍රී ලංකාවේ අනන්‍ය ආර්ථික කලාපයට ඇවිත් ඉරාන නෞකාවකටත් පහරදීලා යනවා. එතනින්ම තේරෙනවා අපේ රටේ ජාතික ආරක්ෂාවේ තරම. කෝ අර ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්න ආපු මහත්වරු?”

 

මෙහෙම කියන ගමන් ඉරාන දෙවෙනි නෞකාවේ සිටි 208 දෙනා බේරා ගැනීම ගැන ආණ්ඩුවට ස්තුතිය පළ කිරීම හරහා සජිත්ගේ නිහතමානී බව ද කැපී පෙනුන සිදුවීමක් විය.

සජිත්ගේ ඒ ප්‍රකාශය පාර්ලිමේන්තු කැන්ටිමේ ද සංවාදයට ලක්ව තිබූ අතර, බොහෝ මන්ත්‍රීවරුන් කියා තිබුණේ ආණ්ඩුවට කුඩු වෙන්නට ගහන ගමන්, ආණ්ඩුවේ හොඳ දේට හොඳයි කියන්නට කොන්දක් සහ නිහතමානීකමක් සජිත්ට තිබීම ගැන සතුටු වන බව ය.

 

ජනපති ගේ චෝදනාවකට නිරෝෂන් පාදුක්ක ගෙන් පිළිතුරු

 

බ්‍රහස්පතින්දා රාත්‍රියේ ජනාධිපති අනුර කුමාර හදිසියේ මාධ්‍යවේදීන් පිරිසක් ඉදිරියේ තබාගෙන ඉරාන නෞකාවට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට පහසුකම් සැලසීම ගැන පැහැදිලි කිරීමක් සිදු කළේ ය.

එහි දී රජයේ ආයතනයකට සම්බන්ධ මාධ්‍යවේදියකු ඇසුවේ “ ඉරාන නෞකා සිද්ධිය ගැන අසත්‍ය ප්‍රකාශ දිගින් දිගට ම විපක්ෂය සිදුකළා, එවැනිම ආකාරයෙන් පසුගිය සමයේත් විවිධ අවස්ථාවල විපක්ෂය අසත්‍ය ප්‍රකාශ එල්ල කළා,” කියා ය.

ඊට පිළිතුරු දුන් ජනාධිපති අනුර කියා තිබුණේ ''දිට්වා කුණාටුව අවස්ථාවේදීත්, ඇමරිකානු බදු පැනවීම හමුවේත් මේ වගේ වැඩ කළා. ඉන්දු - පාකිස්ථාන ගැටුමේදීත් විවිධ භිය ජනිත කළා. ඕනෑම අර්බුදයක දී විපක්ෂය දේශපාලන වාසි උකහාගන්නට උත්සාහ කරනවා,” කියා ය.

 

මේ කතාවට සිකුරාදා මාධ්‍ය හමුවට ආපු නිරෝෂන් පාදුක්ක කියා තිබුණේ 

 

“ දිට්වා වෙලාවේ හදිසි ආපදා තත්ත්වය ප්‍රකාශ කරලා ජනතාවට සහන දෙන්න කිව්වේ විපක්ෂය. ඒකට ක්‍රියා නොකරපු තැනදී විපක්ෂය තමයි කිව්වේ හදිසි නීතිය දාලා හරි මේ ජනතාව බේරගන්න, ආරක්ෂා කරන්න, සහන දෙන්න කියලා. මොකද එහෙම නැතිවුනානම්, මුදල් රෙගුලාසි, අණපනත්, චක්‍රලේඛ නිසා ජනතාව මුදාගැනීම් කඩිනමින් වෙන්නේ නෑ. ඊට පස්සේ IMF එක්ක සාකච්ජා කරන්න කිව්වෙත්, ජාත්‍යන්තර ආධාරක සමුළුවක් තියන්න කිව්වෙත් සජිත්, ඒකට අනුර කිව්වේ අනේ ප්ලීස් එපා කියලා. ඇමරිකන් ටැරීෆ් එක වෙලාවේ සජිත් තමයි කිව්වේ ඇමරිකාවට කණ්ඩායමක් යවලා සාකච්ජා කරලා මේක අඩුකරගන්න බලන්න කියලා. ජනාධිපති අනුර ඒ රැස්වීමෙදී සජිත්ට ස්තුතිත් කළා, ජනාධිපතිට දැන් ඩිමෙන්ෂියා ද දන්නේ නෑ එයාට හැමදේම අමතක වෙනවා.”

 

එහෙම කියපු නිරෝෂන්, ඇමරිකන් බදු පැනවීමට ගතයුතු ක්‍රියාමාර්ග ගැන සජිත් කියපු කතාවයි, ජනාධිපති අනුර ඒකට ස්තුති කරපු කොටසයි දෙකම මාධ්‍ය ඉදිරියේ ප්ලේ කළේ කට්ටියටම ඇත්ත අවබෝධ කරන්නට ය.

 

මම | බංගලා හංදියේ ලියුම්කරු

Search