පත්තර කලාව ගැන රනිල් ගෙන් පාඩමක් - රනිල් කොලම

පත්තර කලාව ගැන රනිල් ගෙන් පාඩමක් - රනිල් කොලම

සර් මේ ප්‍රශ්නේ කොච්චර කාලෙකට ඇදේවි දැයි මන්ත්‍රී කණ්ඩායම් හමුවේ දී මන්ත්‍රීවරුන් විමසූයේ රනිල්ගේ ඉලක්ක බොහෝ විට හරියට ම හරි යන බැවිනි.

"මේ ප්‍රශ්නෙ සුමාන හතරකටවත් යනවා. සුමාන හතරකට වඩා ප්‍රශ්නෙ ඉදිරියට ගියොත් රටේ වැඩ කටයුතු ඉස්සරහට සැලසුම් කරගන්නේ කොහොමද? ඉරානේ තෙල් නැතුව අපට ඉස්සරහට යන්න පුළුවන්. නමුත් ලෝක තෙල් සැපයුම් මාර්ග හිර වුණොත් ඒක අපට බලපානවා. එහෙම වුනොත් ඒකට මුහුණ දෙන්නෙ කොහොමද කියන සැලසුම ආණ්ඩුවට තියෙන්න ඕන."

 

රනිල් එලෙස උත්තර දෙන අතරම මන්ත්‍රී කණ්ඩායමෙන් ප්‍රශ්නයක් ඇසුවේය.

"ඒක නෙමෙයි හුණ්ඩුව කියන්නේ මොකක්ද?"

 

ranill

රනිල් ඇසූ ඒ ප්‍රශ්නයට කාටත් හිනා පහළ විය.

 

"සර් අනුරට රට බාර දෙන්න කලින් කරපු කතාව ආපහු වෛරල් වෙලා යනවා. ඒකෙදි සර් කියනවා මම වැල් පාලමෙන් ආදරෙන් රට නැමති දරුවා අරගෙන ආවා. මම ඔබට ඒ රට බාර දෙන්නේ ඉතාම ගෞරවයෙන් ඉදිරියට ගෙන යන්න කියලා."

 

එහෙව් රටකට ද දැන් මෙහෙම කතා කරන්නේ කියලා මිනිස්සු අහනවා. වජිර කීවේ ය.

"මෙහෙමයි දැන් ඉතින් වෙච්ච දේවල්වලටම බැණ බැණ ඉඳලා වැඩක් නෑ. එයා රට ගත්තනම් දැන් ඉදිරියට කරගෙන යන්න තියෙන්නේ," යැයි රනිල් සැහැල්ලුවෙන් උත්තර දුන්නේය.

 

නොදන්නා 'හුණ්ඩුව' ගැන තලතා ගේ පිළිතුර

තෙල් ගෑස් ගබඩා කරන ක්‍රම මදි කියන එක තමයි එයා ඔය හුණ්ඩු කතාවෙන් කියන්නේ තලතා අනුර කී කතාව ටිකක් පැහැදිලි කළේ ය.

"තෙල් ගබඩා කරන්න මේ ක්‍රමවේද එදා ඉදන්ම පාවිච්චි කළා. මුලින් ඇමරිකා සමාගම් එක්ක, පස්සේ තෙල් සංස්ථාව එක්ක. අනුරත් ආණ්ඩුවක හිටපු මිනිහෙක්; ඇමතිවරයෙක්. එතකොට මේ ක්‍රම වෙනස් කරන්න කියලා යෝජනා කළේ නැද්ද? එදා 2003 අවුරුද්දේ ටැංකි ටික ඉන්දියාවට දුන්නා නම් අද ලංකාවට මෙහෙම අර්බුදයක් නැහැ. යහමින් තෙල් තියෙනවා. ඒකට විරුද්ධ උනේ කවුද? ජේ.වී.පී එක. ඒක අමතක කරන්න බෑ. 2015 කරන්න හදනකොටත් ජේවීපී එක විරුද්ධ උණා. ඊට පස්සේ ඉන්දියාවෙ ඉඳන් ලංකාවට තෙල් නළයක් දාන්න අපි එකඟ වුණා. විශාක පට්නම් ඉඳලා. ඒක අපට කරන්න තිබුණේ 2024දි. නමුත් ඒක එයා කළේ නැහැ. ඒක ආරම්භ කරලා තිබුණනම් තෙල් නළය අද වෙනකොට මෙහි ඇවිත් නොතිබුණත් ඉන්දියාව හිතනවා අපට තෙල් දීම ඔවුන් ගේ යුතුකමක් කියලා. හරියට ආර්ථික අර්බුද කාලේ ලංකාවට උදව් කළා වගේ. අනික අපි පුනර්ජනනීය බල ශක්ති ව්‍යාපෘති ගේනකොට ඔක්කොම ඒගොල්ලෝ මැදිහත් වෙලා නැවැත්තුවා. අපි ඒවට එකඟ වුණා නම් ඉන්දියාවෙන් ඕන තරම් තෙල් සහ ආධාර අරගන්න තිබුණා."

රනිල්  දීර්ඝ විස්තරයක් කළේය.

 

ආණ්ඩුව, කටින් හිටවන බතල කොළ

ආණ්ඩුව කටින් බතල කොළ හිටවමින් හිටියත් ඇත්තෙන්ම ආහාර අර්බුදයක් ඇතිවුණොත් කරන්නේ කුමක්ද කියා පැහැදිලි වැඩපිළිවෙළක් නැත. සුළි කුනාටු ස්වභාවික විපත්වලට මුහුණ දීම නිසා මෙවර වගා කන්න ක්‍රම ද ඒ තරම් සරු වී නැත. ඉන්දියාව වැනි රටක සහයෝගය අත්‍යවශ්‍යම වන්නේ ඒ නිසා ය.

"මේ ඔක්කොම ප්‍රශ්නවලට මුල තමයි අද රට පාලනය හුණ්ඩුවක් අතට ගිහින් තියෙන එක."

චාමර සම්පත් තමන්ගේ මතය ඉදිරිපත් කළේ එසේය.

''හුණ්ඩුවකින් රට පාලනය කරන්න බැහැ කියලා දැන් බොහොම කෙටි කාලෙකින් මිනිස්සුන්ට තේරිලා තියෙන්නේ.''

තවත් මන්ත්‍රීවරයෙක් ඊට උත්තර බැන්දේය.

දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රටට ගෙන එන විට ඒ හැමදේටම කකුලින් අදිමින් රට හුණ්ඩුවකට හිර කළ පක්ෂය අද පාලන බලයට පත් වී දෛවෝපගත සරදමකට මුහුණ දෙමින් සිටින බව මන්ත්‍රී කණ්ඩායමේ මතය විය.

 

ආණ්ඩුවේ ගොළු වත

ඉන්දියාව සමග වූ සහයෝගීතා ගිවිසුම්වලට 2023 වසරේ දී එකඟතාව ලැබී තිබුණි. මැතිවරණය නොතිබුණා නම් ඒ සියල්ලට අත්සන් කිරීමට නියමිතව පැවතුණි. ඡන්දෙන් පසු පැමිණි මේ ආණ්ඩුව ඒ එකක්වත් අත්සන් කළේ නැත .ඉතින් දැන් ඉන්දියාව අපට උදව් කරාවිද කියන කාරණය අඩමාන ය.

වත්මන් ලෝක වාතාවරණය ගැන කිසිවක් නොකියන වත්මන් ආණ්ඩුව ගොළුවකු සේ හැසිරෙයි. එක්කෝ ඉරාන අධ්‍යාත්මික නායකයා ගේ ඝාතනය හෙළා දැකිය යුතු ය.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී හමුවේදී මේ අර්බුදය සම්බන්ධයෙන් රනිල් තම මතය ඉතා පැහැදිලිව ගෙනහැර දැක්වීය.

 

ට්‍රම්ප් පිළිබඳ රනිල් ගේ කියවීම

 

රටක ආණ්ඩු ඉවත් කරන්න තවත් රටකට පුළුවන් නම් එවැනි දේ අනාගතයට සුදුසු නැතැයි රනිල් එහි දී කීවේය.

 

"ඇමරිකා ජනාධිපති ට්‍රම්ප් බලන්නේ එයා කැමති විදිහට ලෝකය වැඩ කටයුතු කිරීම. ට්‍රම්ප්  ජනාධිපති ඊශ්‍රායලය සමග එක්වී ක්‍රියා කළේ ඉරානයේ නායකත්වය නැති කරන්නයි. දැන් ඊළඟ පියවර කුමක්ද? ඉරානය ඇතුළෙ කැලඹීමක් ඇතිවෙලා ආණ්ඩුව නැතිවේවි කියා සිතනවා නම් මේ වනතෙක් එවැනි දෙයක් සිදුවී නැහැ. දැන් ප්‍රශ්නය තිබෙන්නේ ඉරානයේ ඉතුරු වෙලා ඉන්න පිරිස ඒකට එකතු වී වැඩ කරනවාද? නැද්ද? යන කාරණයයි. එතැන් සිට ජනතා සහාය ලබා ගත යුතු යි.  කෙසේ වෙතත් ආණ්ඩුවක් ඉවත් කරනවා නම් මේ ක්‍රමවේද පිළිගන්න බැහැ. ස්විට්සර්ලන්තය සහ නෝවේ යන රටවල් දෙක ම ප්‍රකාශ කර තිබෙන්නේ ජාත්‍යන්තර නීතියට සහ සම්ප්‍රදායට මෙම ක්‍රියාව එකඟ නැති බව යි. ලංකා ආණ්ඩුව තව ම මේ ගැන හරියට ප්‍රකාශයක් කරලා නැහැ.යුද්ධය නතර කරන්නැයි පවසා තිබෙනවා. මෙතන ඇති වී තිබෙන්නේ ඉතා ගැඹුරු ප්‍රශ්නයක්. ඒ කියන්නේ ස්වාධීන රටක පැවැත්මට කළ බලපෑමක්.'

 

රනිල් ඉතා පැහැදිලිව තමයි ස්ථාවරය ගෙනහැර දැක්වූයේ එසේය.

 

තෙල් පෝලිම් විසිරුණු රහස

ඒ වගේම රනිල් එහිදී දැක්වූ තවත් අදහසක් ගැන ජනතාව ගේ ඉමහත් ප්‍රසාදය හිමි විය.ඒ, ජනතාව බියට පත් පත්වී රට පුරා තෙල් පෝලිම්වල නවාතැන් ගත් දිනය යි. තෙල් ඇති තරම් තියෙනවා යැයි ආණ්ඩුව  පුන පුනා කීවත් ජනතාව එය විශ්වාස කරන බවක් නම් නොපෙනුණි.

 

polim

ඒ පසුබිම යටතේ රනිල් ඒ ගැන ප්‍රකාශයක් කළේය.

"ඉරානයෙ තෙල් නොලැබුණා කියා ලංකාවට ඉන්ධන හිඟයක් ඇතිවන්නේ නෑ. ඉරානයට වඩා සෙසු රටවලින් ලංකාව තෙල් ලබා ගන්නවා. ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධියේ තෙල් නැව්වලට බෝම්බ දමා නැව් නතර කළහොත් නම් ප්‍රශ්නයක් ඇතිවෙයි. රනිල් ගේ ඒ අවංක ප්‍රකාශයෙන් පසු විපක්ෂයේ සෙසු පක්ෂ නායකයින් මෙන්ම නියෝජිතයන්ද ඒ කතාවට අනුගතව අදහස් පළ කළේය. රටේ තෙල් පෝලිම් විසිර ගියේ ඉන් පසුවයි.

"ලොක්කා උණුසුම්  සමාජ ප්‍රශ්න ඇදගෙන දේශපාලනය කරන්නේ නෑ කියන එකට හොඳම උදාහරණයක් තමයි ඕක."

මන්ත්‍රී කණ්ඩායම හමුවෙන් පසු බොහෝ මන්ත්‍රීවරු එසේ කීහ.

 

රට වැටුනොත් රනිල් කරන දේ

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී හමුවේ දී  මාධ්‍යවේදියකු විමසූයේ " රට වැටුණොත් ඔබතුමා බාරගන්න කැමතිද?'' යනුවෙනි.

 

"අපේ රට විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දෙනු ඇතැයි මට දැනට පේන්නේ නෑ. ඊට වඩා ලොකු කාරණය තමයි මේ ආණ්ඩුවට  ආර්ථිකය මෙහෙයවන්න පුළුවන්ද කියන එක. මේ යුද්දෙ තිබුණත් නැතත් ඒක වෙනවා,'' යැයි රනිල් ඍජුව ම කීවේය.

 

එහෙම ආණ්ඩුවට කරගෙන යන්න බැරි වුනොත් ඔබතුමා බාරගන්න ලෑස්තිදැයි නැවත මාධ්‍යවේදියකු විමසා සිටියේය.

rv

 

"මේ ආණ්ඩුවට යන්න කියන්නකො... ඔක්කොම හොරකම් කළා කිව්වා. රටේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කිව්වා. දැන් කරුණාකරලා ඒවා කරලා පෙන්නන්න. ආණ්ඩුවක් පත්වෙන්නේ ජනතා කැමැත්ත අනුවනේ. අපි කැමැත්ත අනුව නෙමෙයිනේ. ඒ පොරොන්දු ඉටුකරන්නේ නැතුව පැනලා යන්න දෙන්න එපා, එච්චරයි.''

 

රනිල් මේ ප්‍රශ්නයට සැහැල්ලුවෙන් උත්තර දුන්නේය.

රනිල් ජනාධිපති සමයේ ලෝක ප්‍රශ්න ඇතිවන විට අභීතව හරි පැත්තේ හිට ගත්තේය. හූති කැරලිකරුවන් රතු මුහුදේ නැව්වලට පහර දෙන විට රනිල් ජනාධිපති ලෙස ඇමරිකාවට පක්ෂව ඔවුන් අනුගමනය කරන ක්‍රියාමාර්ග අනුමත කළේ ය.

 

වැටුණු 'මව්බිම' ගැන රනිල් ගේ මතය

දිවයිනේ ජනප්‍රිය පුවත්පතක් වූ දිනපතා මව්බිම පුවත්පත වසා දැමීම පිළිබඳව රනිල් හිතවත් මාධ්‍ය කණ්ඩායම සමග අදහස් දැක්වූයේ සංවේගයෙනි. ඔහු එහි දී වත්මන් පුවත්පත් කලාව පිළිබඳව ඉදිරිගාමී අදහසක්ද පළ කළේය.

"ගොඩක් පත්තර අලුතින් හිතන්නෙ නෑ. පත්තර හදන්න ඕන අලුත් පරපුරේත් අදහස් අරගෙන. ඒ අයටත් ගැළපෙන විදියට.සෝෂල් මීඩියා එක්ක තරග කරන්න පුළුවන් විදියට පත්තර හදන්න ඕන. දැන් තියෙන පත්තර එහෙම නෑනේ. අලුතින්  හිතන නිර්මාණශීලී  පත්තර කලාවක් අද කොහෙවත් පේන්න නෑ. උදාහරණයක් විදිහට ඉස්සරහ ම පිටුවට මිනිස්සුන් ආකර්ෂණය වන පින්තූරයක් තියෙන්න ඕන. ඒක දේශපාලනයම විය යුතු නැහැ. විවිධ මාතෘකා අරගන්න පුළුවන්. පන්තරේ මූලික ආකර්ෂණය තියෙන්නේ හෙඩ්ලයින් එකේ සහ පින්තූරේ. හැම වෙලේම හෙඩ්ලයින් ස්ටෝරිය දේශපාලනය විය යුතු නැහැ.

මෙහි දී අදහස් දක්වමින් හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කීවේ පත්තර වැසී යෑම රටක ප්‍රජාතන්ත්‍රවාදයට හොඳ ලකුණක් නොවන බවයි.

 

news

 

"පත්තර වැටෙන්න එක කාරණයක් තමයි මේ අය තමන්ගේ පත්තර ටීවී එකේ කියවන්න ඉඩ දීපු එක. අඩුගානේ නඩු දාලා ඉල්ලීමක් කරන්න තිබුණා. එහෙම කළේ නෑනේ. ඒකෙන් භාගයක් නැති කරගත්තා. අනෙක පත්තරවලට ඕනවට වඩා දේශපාලනේ ගාව ගන්න හොඳ නෑ."

රනිල් එහෙම කිව්වේ ඉතුරු වී තිබෙන පත්තර ටිකටත් පාඩමක් ඉගෙන ගන්නත් එක්ක ය.

 

රනිල් ගේ මතයට වජිර ගෙන් ප්‍රචාරයක්

වජිර  සති අන්තයේ ගාල්ල කොටුගොඩ මුස්ලිම් දේවස්ථානයට පැමිණියේ එම දේවස්ථානයේ සංවිධානය කර තිබු දෛනික රාමසාන් උපවාසය අත්හැරීමේ වැඩසටහනකට සහභාගීවීමටය.

එක්සත් ජාතික පක්ෂයෙන් පසුගිය පළාත් පාලන මැතිවරණයට තරග කළ, ගාල්ල දිස්ත්‍රික් කළමණාකරු (මුස්ලිම් කටයුතු) රාසික් අන්වර් විසින් සංවිධානය කර තිබු එම වැඩසටහනෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ සභාපති වජිර යි.

 

wajira

 

වජිර නියමිත වේලාවටත් කලින් පැමිණ පැමිණ සිටි පිරිස සමග කතා බහ කර වැඩසටහන සමග සම්බන්ධ විය. දෛනික උපවාසය අත්හැරීමෙන් පසු දේවස්ථානයේ සිටි පිරිස සමග ආහාර පාන අනුභවයට වජිරත් එක් විය. ආහාර අනුභවයෙන් පසුවත් නැවත වජිර පැමිණ සිටි පිරිස සමග සාකච්ඡාවකට එක්වූයේ ඔවුන්ගේ ද දැඩි ඉල්ලීම මතයි. මෙහිදී විශේෂයෙන් ම මුස්ලිම් ජනතාවට ප්‍රශ්නයක් වී තිබෙන ඇමරිකානු සහ ඉරාන අර්බුධය ගැන සාකච්ඡා කරන්නට විය. වජිර මෙහිදී නායක රනිල්ගේ මතය ඔවුන් හමුවේ ප්‍රකාශ කරන්නට වූයේ ඒ වනතුරුත් වෙනත් කිසිඳු දේශපාලන පක්ෂ නායකයෙක් මේ පිළිබඳ තමන්ගේ ස්ථාවරය ප්‍රකාශ කොට නැති පසුබිමක වීම ද විශේෂත්වයකි.

“මම මේ කියන්නේ මගේ මතය නෙමෙයි. අපේ පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මතය යි. එතුමා ඒ පිළිබඳව ඊයේ සවස තිබුණු රැස්වීමක දී අදහස් පළ කර තිබුණා. නමුත් වෙන කිසිඳු දේශපාලන පක්ෂයක හෝ රටේ වගකීම් දරණ කිසිඳු කෙනෙක් මේ ගැන තාම තමන්ගේ ස්ථාවරය පළ කර තියෙනවා මම දැක්කේ නෑ. මේකෙන්ම හිතාගන්න පුලුවන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා අනිත් අයට වඩා කොයිතරම් නම් ඉස්සරහින් ඉන්නවද කියලා වජිර පැහැදිලි කළේ ය.

 

newstube.lk 

Search