ශ්‍රී ලංකාවට අයත්ව තිබෙන කච්චතිව් දූපත ඉන්දියාවේ මැතිවරණය ඉලක්ක කරගත් ආන්දෝලනාත්මක මාතෘකාවක් බවට නැවතත් පත්ව තිබේ. කච්චතිව් දූපත මෙරට දූපත් සමූහයට අයත් එක් දූපතක් වන අතර ශ්‍රී ලංකාවට වඩාත් දුරින්ම පිහිටි දූපත වන්නේ ද කච්චතිව් දූපතයි. දකුණු ඉන්දියාවේ රාමේශ්වරම් නගරයට වඩාත් ආසන්නව කච්චතිව් දූපත පිහිටා ඇති අතර ඇතැම් අවස්ථාවල රාමේශ්වරන්හි පවතින උසින් වැඩි කුලුනු ශීර්ෂ කච්චතිව් දූපත අවට මුහුදු සීමාවට නිරීක්ෂණය වන බවද සඳහන් වේ. දකුණු ඉන්දියාවේ රාමේශ්වරන් සිට කච්චතිව් දූපත දක්වා කිලෝමීටර 24කට ආසන්න දුරක් පවතින අතර යාපනයේ සිට කච්චතිව් දක්වා කිලෝමීටර් 63කට ආසන්න දුරක් පවතින බව සිතියම මගින් පෙන්වා දෙයි.
කච්චතිව්, පෝක් සමුද්‍ර සන්ධියේ පිහිටි අක්කර 285ක දූපතක් වන අතර මෙරට අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කළ සිරිමාවෝ බණ්ඩාරනායක හා ඉන්දීය අග්‍රාමාත්‍යවරියව සිටි ඉන්දිරා ගාන්ධි අතර 1974 ජූනි 26 වැනි දා අත්සන් කළ ගිවිසුමක් මගින් කච්චතිව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට හිමි විය. කච්චතිව් දූපත ඉන්දියාවේ කොටසක් නොවන බවත්, එය ශ්‍රී ලංකාවේ කොටසක් වන බවත් එම ගිවිසුමේ සඳහන් වුණි. 1976 දී තවත් සමුද්‍ර සීමා ගිවිසුම්ක් ද සිදුවිය. එමගින් මෙම කච්චතිව් දූපතේ අයිතිය සහ ඒ අවට මුහුදු සීමාවේ මත්ස්‍ය සම්පත ද අයිති වන්නේ ශ්‍රී ලංකාවට බව තහවුරු වුණි. කච්චතිව් දූපතේ අයිතිය සම්බන්ධයෙන් වන ගැටලුව ඉතිහාසය පුරාවටම දක්නට ලැබෙන සාධකයකි. 1974 දී ශ්‍රී ලංකාවට ගිවිසුමක් හරහා කච්චතිව් දූපතේ අයිතිය හිමි වුවද කච්චතිව් අයිතිය හා කච්චතිව් සාගර සීමාව සම්බන්ධ ගැටලුව 20 වැනි සියවසේ මුල් කාලවකවානුව දක්වා දිව ගොස් තිබේ. කච්චතිව් දූපතේ අයිතිය සම්බන්ධයෙන් 1921 වසරේ ඉන්දීය නියෝජිතයන් පිරිසක් හා ශ්‍රී ලංකා නියෝජිතයන් පිරිසක් අතර සාකච්ඡාවක් පවත්වා තිබූ අතර එහිදී ඉන්දීය නියෝජිතයන් සඳහන් කොට ඇත්තේ කච්චතිව් දූපත බි්‍රතාන්‍ය පාලන සමයේ රාමණ්ඩි පාලකයකු යටතේ පැවති බවයි. වර්ෂ 1800 දී පමණ ලන්දේසි යුගයේ ඇඳි සිතියමක් පාදක කරගනිමින් 1950 දී ආර්.එල්. බ්‍රෝහියර් සම්පාදනය කළ කෘතියක ද කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට අයිති බව දක්වා ඇති අතර ඉංග්‍රීසි ජාතික සිවිල් පරිපාලකයකු වූ සර් ජේම්ස් ෂමන්සන් 1860 දී “සිලෝන්” නමින් එළි දක්වා තිබූ ග්‍රන්ථයක සිතියමක ද කච්චති දූපත ගැන සඳහන්ව තිබූ බව කියැවේ. 1974 දී අත්සන් කළ ගිවිසුම අනුව කච්චතිව් දූපත ආශ්‍රිත ධීවර කටයුතු හා කච්චතිව් දූපත ආශ්‍රිත සාගර සීමාව සම්බන්ධයෙන් වූ බොහෝ ගැටලු හේතුවෙන් එදා සිට මේ දක්වා ඉන්දීය ධීවරයන් හා ශ්‍රී ලංකා ධීවරයන් අතර
ගැටුම් හටගනිමින් පවති. 1976 වසරේ ද ඉන්දු ලංකා නායකයන් අත්සන් කළ තවත් ගිවිසුමක් අනුව කච්චතිව් දූපත ආශ්‍රිතව මසුන් ඇල්ලීම ඉන්දීය ධීයවරයන්ට අවසරය අහිම කොට තිබුණි. 1974 දී කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පවරා දුන්න ද දකුණු ඉන්දීය ධීවරයෙන් හා දකුණු ඉන්දීය දේශපාලන නායකයෝ කච්චතිව් ඉන්දියාවට නැවත පවරා ගත යුතු බවට ඉල්ලීම් කරයි.
දකුණු ඉන්දීය ධීවරයන්ගේ ඉල්ලීම අනුව තමිල්ණාඩු ප්‍රධාන අමාත්‍යවරියක් ලෙස කටයුතු කළ ජයලලිතා ජෙයරාම්ගේ මෙහෙය වීම යටතේ 2008 වසරේ දී දකුණු ඉන්දීය නියෝජිතයන් පිරිසක් විසින් 1974 වසරේ
ගිවිසුම්ගත කළ ගිවිසුම අහෝසි කරන ලෙසට ඉල්ලා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ද ගොනු කර තිබුණි. ශ්‍රී ලංකා සාගර කලාපයට ඇතුළු වී අනවසරයෙන් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට විරුද්ධව පසුගිය සමයේ දකුණු ඉන්දීය ධීවරයන් විසින් විරෝධතා මාලාවක් දියත් කළ අතර එහිදී ඔවුන් පැවසූවේ ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන දකුණු ඉන්දීය ධීවරයන් නිදහස් නොකරන්නේ නම් තමන් 2024 කච්චතිව් මංගල්‍යය වර්ජනය කරන බවය.
නිරන්තරයෙන්ම ඉන්දීය ධීවරයන් කච්චතිව් මුහුදු සීමාව තුළ ධීවර කටයුතුවල නිරත වනවිට නාවික හමුදාවේ භාරයට පත්වේ. මෙය විශාල ගැටලුවක් බවට පත්ව තිබේ. මෙම ඉන්දීය ධීවර ගැටලුව හේතුවෙන් යාපනය මුලතිව් හා මන්නාරම් දිස්ත්‍රික්කයන්ගේ ධීවරයන් ද වැඩි වශයෙන් පීඩාවට පත්ව සිටින අතර ඉන්දීය ධීවරයන් සිදුකරන මත්ස්‍යය ජාවාරම නවතා දෙන ලෙස ඉල්ලා අවස්ථා කිහිපයක දීම ලංකාවේ ධීවරයන් විරෝධතා සිදුකර තිබේ. මෙලෙස දීර්ඝ කාලයක් පුරා පැවැති කච්චතිව් දූපත ආශ්‍රිත ගැටලුව 2025 වසරේ අගෝස්තු මාසයේ 22 වැනි දින නැවත ඉන්දියාවේ තමිල්ණාඩුවේ මැතිවරණ වේදිකාවක කරළියට පැමිණ තිබේ. 2026 ඉන්දීය ප්‍රාන්ත මහ මැතිවරණය සඳහා තරග වැඳීමට අපේක්‍ෂිත දකුණු ඉන්දීය නළු විජේ ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන්
ශ්‍රී ලංකාවට අයිතිය ඇති කච්චතිව් දූපත පවරා ගන්නා ලෙස ඉල්ලීම් කර තිබේ. ඉන්දීය තමිල්ණාඩු ධීවරයන් හා ඔවුන්ගේ බෝට්ටු ශ්‍රී ලංකාවේ නාවික හමුදාව විසින් ඔවුන්ගේ භාරයට ලබාගැනීම මත ධීවරයන්ට සිදුවන අපහසුතා මඟහරවා ගැනීමට මොවුන් දූපතේ අයිතිය නැවත ඉල්ලා සිටිති.
2009 වර්ෂයේ දී ඊළාම් යුද්ධය අවසන් වීමෙන් පසුව ශ්‍රී ලංකාව නාවික හමුදාව කච්චතිව් දූපතේ ආරක්ෂාව තර කර ඇත. නමුත් ඉන්දීය ධීවර ප්‍රශ්නය අවසන් වී නොමැත. කච්චතිව් දූපත තුළ පිහිටා තිබෙන ශාන්ත අන්තෝනි දේවස්ථානය වැඳ පුදා ගැනීම සඳහා ඉන්දියානුවන් මුහුදු මාර්ග ඔස්සේ පැමිණෙන අතර ඊට අවසරය ඔවුන්ට හිමිව තිබේ. තමිල්ණාඩු රජය කච්චතිව් දිනාගැනීමේ සටන තවමත් අත්හැර නැති බව පැහැදිලිවම පෙනී යන කරුණකි. ශ්‍රී ලංකා ආර්ථිකය දුර්වල වී තිබෙන මෙම අවස්ථාවේ කච්චතිව් දූපත අත්පත් කර ගැනීමට ඉන්දියාව ක්‍රියාකරමින් සිටී. ලාංකීය ධීවරයන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගැනීම උදෙසා කච්චතිව් දූපත ඉදිරියටත් ශ්‍රී ලංකා රජය පාලනය යටතේම තබාගැනීම තාම වැදගත් සාධකයකි.
කච්චතිව් දූපත සම්බන්ධ ගැටලුව අද තෙක් විසඳා නොමැති ආකාරයෙන් දිග හැරෙමින් පවතින අතර එය දේශපාලන තේමාවක් ලෙසත්, ආර්ථික හා ආරක්ෂාත්මක ගැටලුවක් ලෙසත් දැඩිව පෙනී යයි. ශ්‍රී ලංකාවට අයත් බව සෘජුවම සහතික කරන ගිවිසුම් තිබිය ද ඉන්දියාව මැතිවරණ ව්‍යාපාරවල දී මෙම ගැටලුව ප්‍රයෝජනය කරගනිමින් සිටීම කනගාටුදායක කරුණකි. ඉදිරියේ දීත් අප රටේ සම්පත් ආරක්ෂා කරගැනීම, ලාංකීය ධීවරයන්ගේ අයිතිවාසිකම් රැකගැනීම සහ ජාතික අභිමානය තබා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සහ සම්බන්ධිත අධිකාරීන් මනා දැක්මක් සහ කාර්යක්ෂම උපාය මාර්ග යොදන තෙක් මෙම ගැටලුව තීරණාත්මක විසඳුමකට නොපැමිණේ. එබැවින් කච්චතිව් දූපත යනු පමණක් භූමිභාගයක් නොව, රටේ ස්වාධීනත්වය හා ආර්ථික අනාගතය අයත් වන වැදගත් සංකේතයක් බව මතක තබා ගත යුතුය