මුදල් මුද්‍රණය කිරීම ගැන විවාදයක් නැවත පැන නැගී තිබේ. මුද්‍රණය කිරීම වෙනුවට අච්චුගැසීම යන්න ද ව්‍යවහාර වේ. නෝට්ටු මුද්‍රණය හා කාසි සැපයීම ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකීමකි. ආර්ථිකය උච්ඡාවචනය වන ආකාරය සලකා රට තුළ සංසරණය වන මුදල් ප්‍රමාණය නිර්ණය කෙරේ. මුදල් හිඟවීම ප්‍රශ්නයකි. එහිදී මුදලේ වටිනාකම වැඩිවේ. මුදල් සංසරණයට අවශ්‍ය ප්‍රමාණයට වඩා භාවිතයට එකතු වූ පසු අගය පිරිහේ. උද්ධමනයක් බව ප්‍රකාශ කෙරේ. අවශ්‍ය කරන භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට ප්‍රමාණවත් තරම ඉක්මවා මුදල් සැපයුමක් ඇති අවස්ථාවක අධි උද්ධමනයක් ඇතිවේ. ශ්‍රී ලංකාව වැනි රටකට අධි උද්ධමනය පමණක් නොව අවධමනය ද වාසිදායක නැත.
උද්ධමනයේදී ගැවසෙන මුදල් ප්‍රමාණය ඉහළ නැගේ. අතට ලැබෙන මුදල ඉක්මවා භාණ්ඩ හෝ සේවා මිල ඉහළ යන තත්ත්වයකි. ලෝකයේ ඇතැම් රටවල අධි උද්ධමනය හේතු කරගෙන නෝට්ටු සහ කාසිවල වටිනාකම අවම තැනකට පත් වූ අවස්ථා තිබේ. අවධමනය සංකීර්ණ ගැටලු ඇති කරයි. මුදලේ වටිනාකම ඉහළ ගිය පසු මිලදී ගත හැකි ප්‍රමාණය වැඩි වේ. සමස්ත ජනගහණයට අධික මිලදී ගැනීමේ හැකියාවක් ඇතිවේ. ආර්ථික අවපාතයක පසුවන හා ආනයන සඳහා විනිමය හිඟ අවස්ථාවක අවධමනයක් සිදුවුවහොත් මහජනතාවට මිලදී ගත හැකි භාණ්ඩ හා සේවා සැපයීම දුෂ්කර කර්තව්‍යයකි.
මුදල් හිඟය අනුව රුපියල් අච්චු ගැසීම
පසුගිය කාලයේ ආණ්ඩු මුදල් අච්චුගැසූ බව දේශපාලන වේදිකාවේදී ප්‍රකාශ කෙරිණ. අදටත් එම චෝදනාව එල්ල වෙමින් තිබේ. වියදම් කිරීම සඳහා ධනය හිඟ ආණ්ඩුවකට මුදල් අච්චුගසා අයවැය පියවීම කළ නොහැක. එදා දේශපාලනයේදී කරන ලද විකෘති කිරීම් නැවත පාරාවළල්ලක් සේ භාවිත වෙමින් තිබේ. ඕනෑම කාලයක මහ බැංකුව අනුගමනය කරන ප්‍රතිපත්ති අනුව මුදල් අච්චුගැසීමක් සිදුවේ. එහෙත් ඒවා සංසරණයට වහාම නිකුත් කරන්නේ නැත. රට තුළ පවතින මුදල් අවශ්‍යතාව සලකා බලා පාලනයකින් සිදු කෙරේ.
පසුගිය වසරේ ඔක්තෝබර් අග භාගයේ ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් බිලියන සියයක මුදලක් සංසරණය සඳහා නිකුත් කර තිබේ. එක්දින ප්‍රති මිලදී ගැනීමේ පහසුව යටතේ වාණිජ බැංකුවලට රුපියල් බිලියන 30ක් හා දින හතක ණය කාලයක් සඳහා රුපියල් බිලියන 70ක් බව දැක්වේ. මෙම නිකුතුව සමඟ වාණිජ බැංකුවල අතිරික්ත ධනය රුපියල් බිලියන 193 දක්වා ඉහළ ගොස් තිබේ. තැන්පත් මුදල් හා ගනුදෙනු සඳහා දිනපතා ඉල්ලා සිටින ධනය අතර, ඇති පීඩනය සමබර කිරීම සඳහා මෙම අතිරික්ත බිලියන ප්‍රමාණය ප්‍රයෝජනයට ගෙන ඇත. ආර්ථිකයක් සක්‍රීය වූ පසු මුදල් ඉල්ලුම වැඩි වේ. මහජනතාව තැන්පත් කරන අතර, තවත් කොටසක් පරිභෝජනයට හා ආයෝජන අවස්ථාවලට ණය ඉල්ලා සිටිති. මේවා නිකුත් කළ යුතුය. නිකුත් කිරීමේදී පාලනයක් තිබේ. එම පාලනය සඳහා අවකාශයක් නිර්මාණය කිරීම හා නිරීක්ෂණය මහ බැංකුවේ වගකීමකි.
මෙම නිකුත් කිරීමෙන් පසු පවා සංසරණය වන මුදල් ප්‍රමාණය නිරීක්ෂණය කරන මහ බැංකුව නිසි පරිදි කටයුතු කරනු ඇතැයි විශ්වාස කෙරේ. කෙසේ වෙතත් මහ බැංකුව හා ආණ්ඩුව අතර ද අවබෝධතාවයක් ගොඩනැගේ. එය මහා භාණ්ඩාගාරය හරහා සිදුවන බව සඳහන් කළ යුතුය. සංවර්ධන අවශ්‍යතා සලකා බලන අතර, ආර්ථිකය පුළුල් කරන සැලැස්ම සඳහා දේශීය ණය ගැනීම හා ඒවා අච්චුගසන ලද මුදල් නෝට්ටුවලින් පියැවීම අවබෝධයකින් සිදුවන කටයුත්තකි.
අඩු උද්ධමනයක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වී ඇති රාමුව අනුව සියයට පහක උද්ධමනයක් පවත්වාගත යුතුය. මෑත කාලය තුළ ආර්ථික ස්ථාවරත්වය හා සමාන්තරව උද්ධමනය ද අඩුවෙමින් තිබේ. පසුගිය ජූලි මාසයේ උද්ධමනය සියයට 0.3 කි. වසරේ මුල් කාලය හා සසඳන විට උද්ධමනය ඉතා සුළු වර්ධනයක් දක්වන නමුත් මෙම අනුපාතය දරුණු අගයක් ගෙන නැත. අඩු උද්ධමනයක් යටතේ පාරිභෝගිකයන්ගේ මිලදී ගැනීමේ හැකියාව තවදුරටත් වැඩිවෙමින් පවතී. එය පාරිභෝගිකයන්ගේ ඉල්ලුම ඉහළ යන්නට හේතු වේ. ඉහළ යන ඉල්ලුමට සමාන පරිදි සැපයුමක් සිදුකළ යුතුය. රට තුළ නිෂ්පාදන හා සේවා අංශයන්හි ප්‍රසාරණයක් වහාම අවශ්‍යය.
පසුගිය අයවැය මගින් කරන ලද වැටුප් සංශෝධන මගින් රජයේ සේවය කරන ලක්ෂ දහතුනක පමණ පවුල්වලට මිලදී ගැනීමේ හැකියාව ඉහළ මට්ටමක පවතී. අසවැසුම සහන ක්‍රමය යටතේ කෙළින්ම අඩු ආදායම් ලබන ජනතාවට බෙදන ධනය රුපියල් බිලියන 232.5 කි. එය කලින් වසරවල බෙදන ලද රුපියල් බිලියන හැත්තෑවක පමණ ප්‍රමාණය සලකන විට විශාල අගයකි. මෙම මුදල් ජනතාව අතට මාසිකව ලැබුණු පසු අවශ්‍ය දේ පමණක් නොව වත්කම්ද අත්පත් කරගන්නා බව සැලකිය හැකිය. මෙම ධන ප්‍රසාරණය තුළ පමණක් මිලදී ගැනීමේ හැකියාව සලකා බැලීමේදී එය සැලකිය යුතු ප්‍රමාණාත්මක තත්ත්වයකි. ආර්ථික අර්බුදය තිබුණු වකවානුවට වඩා භාණ්ඩ හා සේවා මිල අඩුවී තිබේ. සහල්, සීනි, පරිප්පු හා ලූනු මිල අඩු වූ පසු පරිභෝජනය කරන ප්‍රමාණය වැඩිවන අතර, එයට සැපයුමක් අවශ්‍ය කෙරේ. මෙම පරතරය පාලනය සඳහා උද්ධමනය වැදගත් සාධකයකි.
මුදල් සැපයුම වැඩි කර උද්ධමනයක් ප්‍රමාණවත් පරිදි පවත්වා ගැනීමෙන් වෙළෙඳපොළ ඉල්ලුම යම් ආකාරයකින් අවනත කරගත හැකි වේ. ඒ සඳහා බැංකු පොලිය, මුදල් සැපයුම හා රජයේ ණය ගැනීමේ ක්‍රියාවලිය තුළින් සංවර්ධන කටයුතු සඳහා මුදල් නිදහස් කිරීම ආකෘතිගත කෙරේ. මෑත කාලය තුළ අයවැය මගින් වෙන් කරන ලද මුදල් වියදම් නොකළ බවට තොරතුරු අනාවරණය වූ අතර, ජනාධිපති අනුර දිසානායක මහතා ද මෙම මුදල් වහාම වැය කර සංවර්ධනය වේගවත් කරන සේ දක්වා තිබේ. කෙසේ වෙතත් මෙම මුදල් වියදම් කර මුදල් සංසරණය තවත් වේගවත් කළහොත් උද්ධමනය ඉහළ දැමීම අවශ්‍ය බව ආණ්ඩුවට වැටහෙනු ඇත.
ඉහළ උද්ධමනයක සිට
2022 වසරේ සැප්තැම්බර් මාසයේ දී මෙරට උද්ධමන අනුපාතිකය සියයට 70.2ක ඉහළ අගයක් ගෙන තිබුණි. භාණ්ඩ හා සේවා මිල අධික විය. පාරිභෝගිකයෝ බලවත් දුෂ්කරතාවයක පසුවූහ. මෙම රජයේ ණය ගැනීම මෙහිදී ඉහළින් බලපා තිබුණි. දේශීය වශයෙන් ගන්නා ණය පියැවීම සඳහා මුදල් අච්චුගැසීම බහුල විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කරන ලද සැලැස්ම අනුව මුදල් අච්චුගැසීම නතර කරන ලද අතර, එයට සමාන්තරව ණය ගැනීම ද අවම කළේය. මෙම නතර කිරීම නොසලකා මුදල් අච්චුගැසීමක් කිරීමට යන බවට ඇතැම් පාර්ශ්ව චෝදනා කරමින් සිටිති. එම වාර්තා අනුව 2024 ඔක්තෝබර් සිට 2025 ජූනි දක්වා රු. බිලියන 1,225 ක මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කර ඇත. ආණ්ඩුව එම ප්‍රකාශ ප්‍රතික්ෂේප කර තිබේ. රජයේ ණය ගැනීම හා ණය නිදහස් කිරීම ක්‍රමානුකූලව කරන බව ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අදහස වී ඇත.
උද්ධමනය, පොලී අනුපාත හා විනිමය අනුපාත යන අංශවල සමබරතාවයක් අවශ්‍යය. ශ්‍රී ලංකාවේ අපනයන ආදායම වැඩි වී ඇති අතර, රට තුළින් ඇමෙරිකානු ඩොලර් බිලියනයක් ද මහ බැංකුව මිලදී ගෙන ඇත. මෙහිදී විදේශ ණය ගෙවීම තවමත් ආරම්භ කර නැති බව ද මතක් කළ යුතු වේ. ශ්‍රී ලංකා මහ බැංකුව දක්වන පරිදි රජයේ ආදායම ඉහළ ගොස් ඇත. පසුගිය අයවැය පනවන ලද අධික බදු එයට හේතුවකි. දේශීය ආදායම හා විදේශීය ආදායම සමතුලිත තත්ත්වයක් තිබිය යුතු වේ. මෙම තුන්පැති සමපාත නොවීමේදී නැවත වතාවක් ආර්ථිකයේ අසමතුලිත තත්ත්ව ඇතිවිය හැකිය.
උද්ධමනය අඩු නමුත් ආර්ථිකය ගැටලුවක බව ජනතාවට දැනෙන බව සඳහන් කළ යුතුය. ආණ්ඩුවේ ආදායම අලුත් කර්මාන්ත හා ව්‍යාපාරවලට යෙදවිය යුතුව තිබේ. එයින් නිෂ්පාදනය හා රැකියා අවස්ථා ඇති කරයි. දැනටමත් රැකියා විරහිත පිරිස් රස්සා ඉල්ලමින් උද්ඝෝෂණයකය. රජය වයස් සීමා වෙනස් කර රජයේ රැකියාවලට බඳවා ගැනීමට සූදානම් බව කියැවේ. රජයේ සේවය කරන පිරිස ඉහළ යන ජනතාවගේ බදුවලින් නඩත්තු කළ යුතු ප්‍රමාණය වර්ධනය සුදුසු තත්ත්වයක් නොවේ. පහසුකම් සපයන අතර පෞද්ගලික අංශය දිරිගැන්වීම අවශ්‍යය. පෞද්ගලික අංශයේ කර්මාන්ත හා ව්‍යාපාරවලට අවස්ථා අවශ්‍ය කෙරේ. මහජනතාවගෙන් අය කරන බදුවලින් ජාතික ආදායම තර කරගැනීම වෙනුවට ආයෝජන අවස්ථා දියුණු කිරීම වැදගත්ය. ජනතාවට බදු පනවන අතර, අඩු උද්ධමනයක් හා මුදල් අච්චුගැසීමකින් තොර වාතාවරණයක් යනුවෙන් ප්‍රසිද්ධ කිරීමෙන් පමණක් රටක් වර්ධනය නොවේ