සමාව අවභාවිත කරමින් රැඳවියන් 247 දෙනෙකු නීති විරෝධී ලෙස නිදහස් කරලා... CID වාර්තාව හෙළි කරයි

සමාව අවභාවිත කරමින් රැඳවියන් 247 දෙනෙකු නීති විරෝධී ලෙස නිදහස් කරලා... CID වාර්තාව හෙළි කරයි

දිවයිනේ බන්ධනාගාරවල සිටි රැඳවියන් 247 දෙනෙකු ජනාධිපති පොදු සමාව අවභාවිත කරමින් අවස්ථා තුනකදී නීති විරෝධී ලෙස නිදහස් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සිදු කළ විමර්ශනයකින් හෙළි වී තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය විමර්ශන වාර්තාව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත මෑතකදී භාර දී ඇත. 


විමර්ශන වාර්තාවට අනුව,

 


ජනාධිපති පොදු සමාව අවභාවිත කරමින් නිදහස් කර ඇති රැඳවියන් සංඛ්‍යාව ඉතා ඉහළ අගයක් ගෙන ඇත. 2024 නත්තල් දිනයේදී රැඳවියන් 158 දෙනෙකු, ජාතික නිදහස් දිනයේදී රැඳවියන් 40 දෙනෙකු සහ වෙසක් පුර පසළොස්වක පොහොය දිනයේදී රැඳවියන් 49 දෙනෙකු ලෙස මුළු රැඳවියන් 247 දෙනෙකු නීති විරෝධී ලෙස නිදහස් කර ඇති බව CID වාර්තාවේ සඳහන් වේ.
විමර්ශනය සිදු කර ඇත්තේ දිවයින පුරා පිහිටි බන්ධනාගාර 29ක් ආවරණය වන පරිදි වන අතර, එම විමර්ශනයේදී තවත් කරුණු රැසක් අනාවරණය වී තිබේ. අදාළ ජාතික උත්සව දිනයන්හිදී ජනාධිපති සමාව ලබා දීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් විධිමත් ලෙස ජනාධිපතිවරයා වෙත නම් ලැයිස්තු යොමු කර තිබෙන බව වාර්තාවේ සඳහන් වේ.
ඒ අනුව, නත්තල් දිනය වෙනුවෙන් රැඳවියන් 332 දෙනෙකුගේ නම් ලැයිස්තුවක්, ජාතික නිදහස් දිනය වෙනුවෙන් රැඳවියන් 274 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් සහ වෙසක් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් රැඳවියන් 388 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් ජනාධිපති සමාව ලබා ගැනීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ජනාධිපතිවරයා වෙත යොමු කර තිබේ.

 



එහෙත්, බරපතල ගැටලුව වන්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ජනාධිපතිවරයාගේ අනුමැතියකින් තොරව බන්ධනාගාර 9කින් රැඳවියන් 30 දෙනෙකු ද ඇතුළුව මුළු රැඳවියන් 247 දෙනෙකු නීති විරෝධී ලෙස නිදහස් කර තිබීමයි. මෙම නීති විරෝධී නිදහස් කිරීම් සම්බන්ධයෙන් කිසිදු ලිඛිත ලේඛනයක් හෝ සාක්ෂි සොයා ගත නොහැකි බව විමර්ශන නිලධාරීන් පවසයි.
සාමාන්‍ය පිළිවෙතට අනුව, විශේෂ දිනයන්ට සමගාමීව රැඳවියන්ට ජනාධිපති සමාව ලබා දීම සඳහා සකස් කරනු ලබන නම් ලැයිස්තු එම දිනයට සති දෙකකට පමණ පෙර ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබේ. එම ලැයිස්තුවලට ජනාධිපතිවරයා අනුමැතිය ලබා දෙන්නේ නම්, එම රැඳවියන් නිදහස් කිරීමට කටයුතු කරනු ලැබේ.
කෙසේ වෙතත්, මෙම සිද්ධියේදී ජනාධිපතිවරයාගේ අවසරයකින් තොරව බන්ධනාගාර නිලධාරීන් විසින් තවත් නම් ලැයිස්තුවක් සකස් කර රැඳවියන් 247 දෙනෙකු නිදහස් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තහවුරු කර තිබේ.
මෙම පරීක්ෂණය ආරම්භ වූයේ මුදල් වංචාවක් සම්බන්ධයෙන් සිරගත කර සිටි සිරකරුවෙකු ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම සම්බන්ධයෙන් සමාජයේ ඇති වූ ආන්දෝලනාත්මක තත්ත්වයකින් පසුවයි. එම සිද්ධියෙන් පසු, නිදහස් කළ සිරකරුවා සම්බන්ධයෙන් සාධාරණීකරණය කරමින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අධිකරණ අමාත්‍යාංශයට ලිපියක් යවා තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කටයුතු කරමින් නීතිය ක්‍රියාත්මක කරන ආයතන විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය මත ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

 

එසේම, අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීම සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් පරිදි, අපරාධ පරීක්ෂණ සහ මූල්‍ය අපරාධ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය පොලිස්පති පී. අම්පාවිල මහතාගේ මෙහෙයවීම යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තවදුරටත් පරීක්ෂණ සිදු කරමින් පවතී.

 

 

Search