යුද්ධය ඉවරයි!!!

යුද්ධය ඉවරයි!!!

ඉරානයට බෝම්බ හෙලීම සහ ප්‍රහාර එල්ල කිරීම දෙසතියකට අත්හිටුවන බව එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (7)  දැනුම් දුන්නේය.


ඒ අනුව, මෙතැන් සිට එක්සත් ජනපදය, ඊශ්‍රායලය සහ ඉරානය අතර දෙසතියක සටන් විරාමයක් ක්‍රියාත්මක ය.  

එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද කරුණු 15කින් යුත් සටන් විරාම යෝජනාවට විපක්ෂව ඉරානය විසින් ද කරුණු 10කින් යුත් යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ. එය ලද බව එක්සත් ජනපදය තහවුරු කළේය.

මෙම මස 10 දා සාකච්ඡා ආරම්භ කිරීමට නියමිත බව, ඉරානය නිවේදනය කළ ද, එක්සත් ජනපදය විසින් තවමත් ඒ බැව් තහවුරු කර නොමැත.  

සටන් විරාමය සාදරයෙන් පිළිගන්නා බව ඊශ්‍රායලය පවසයි. එහෙත්, ලෙබනනය ඊට ඇතුළත් නොවන බව, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයක අවධාරණය කර තිබේ.

ඊශ්‍රායල නිවේදනය

c45y4
"හෝර්මුස් සමුද්‍ර සන්ධිය වහා විවෘත කිරීම, එක්සත් ජනපදය, ඊශ්‍රායලය, හා කලාපයේ අන් රටවලට එරෙහි සියලු ප්‍රහාර අවසන් කිරීම යන කරුණුවලට යටත්ව, ඉදිරි දෙසතිය  අවසන් වන තෙක් ඉරානයට ප්‍රහාර නොදැක්වීමට එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණය පිළිබඳව ඊශ්‍රායලයේ ප්‍රසාදය හිමිවේ.

එමෙන්ම, ඉරාන න්‍යෂ්ටික සහ මිසයිල තර්ජන, එක්සත් ජනපදය, ඊශ්‍රායලය, කලාපයේ ඉරාන අසල්වැසි අරාබි රටවලට සහ සමස්ත ලොව වෙත ඉන් එල්ල කෙරෙන අන්තරායය මුලිනුපුටා දැමීමට එක්සත් ජනපදය ගන්නා සියලු ප්‍රයත්නයන්ට ද ඊශ්‍රායලයේ පූර්ණ  සහාය හිමිවේ.

එම සියලු ඉලක්ක සාක්ෂාත් කිරීමට ඇප කැප වන බව එක්සත් ජනපදය විසින් ඊශ්‍රායලය වෙත ප්‍රතිඥා දී ඇති අතර ඉදිරි සාකච්ඡා හිදී එම සියලු කරුණු පිලිබඳ අවධානය යොමු කෙරේ.

දෙසතියක සටන් විරාමයට ලෙබනනය අයත් නොවේ." යනුවෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් දැක්වේ.  

ඉරාන හිතවාදී ප්‍රහාර ද නවතී

lebyrc93
ඉරාකයේ සිට ක්‍රියාත්මක ඉරාන  හිතවාදී ඉස්ලාමීය ප්‍රතිරෝධය නම් සන්නද්ධ සංවිධානය ද දෙසතියක සටන් විරාමය පිළිගෙන, එක්සත් ජනපදයට සහ කලාපයේ එම  සන්ධානයට එරෙහි ප්‍රහාර තාවකාලිකව අත්හිටුවන බව ප්‍රකාශ කළේය.

පෙබරවාරි 28 දින ඉරානයට එරෙහි එක්සත් ජනපද - ඊශ්‍රායල ප්‍රහාර ඇරඹි දා සිට එම සන්නද්ධ සංවිධානය ඉරාකයේ සිට යුද්ධයට එක්  විය.

එක්සත් ජනපද හමුදාවන්ට අයත්, ගුවනේ සිට ඉන්දන සපයන විශේෂ ගුවන්  යානය බිම හෙලීමේ වගකීම ද එම සංවිධානය විසින් පිළිගෙන තිබේ. එහෙත්, එම යානය අනතුරට පත් වූයේ සතුරු ප්‍රහාරයකින් නොවන බව එක්සත් ජනපදය පැවසීය.

හෝර්මුස් විවෘත කෙරේ

f4545y45
ඉරානයට එරෙහි සභාග ප්‍රහාර නැවති වහා, ඊශ්‍රායලය ඇතුළු ගල්ෆ් කලාපය වෙත පහර දීම අවසන් කර සටන් විරාමයේ, හෝර්මුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට පියවර ගන්නා බව ඉරාන විදේශ අමාත්‍ය, අබ්බාස් අරඛ්චි නිවේදනය කළේය.

"ඉරාන ඉස්ලාමීය ජනරජය වෙනුවෙන්, කලාපයේ යුද්ධය අවසන් කිරීමට ගත් අප්‍රතිහත ප්‍රයත්නය සම්බන්ධයෙන්, මා සොයුරු, අතිගරු පාකිස්ථාන අග්‍රාමාත්‍ය, ෂරිෆ් වෙත සහ අතිගරු ෆීල්ඩ් මාර්ෂල් මුනිර් වෙත, මාගේ බලවත් කෘතඥතාව සහ ප්‍රසංශාව පුද කරමි.

අග්‍රාමාත්‍ය ෂරිෆ් ගේ සහෝදරාත්මක ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් සහ, කරුණු 15කින් යුත් යෝජනාවලියක් මත සාකච්ඡා ආරම්භ කිරීමට එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම මෙන්ම, සාකච්ඡා පිණිස ඉරානය විසින් ඉදිරිපත් කරන ලද කරුණු 10කින් යුත් යෝජනාවලිය එක්සත් ජනපදය විසින් ලද බවට වූ නිවේදනය සලකා බලමින්, ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය වෙනුවෙන් මෙසේ ප්‍රකාශ කර සිටිමි:

ඉරානයට එරෙහි ප්‍රහාර නවතන්නේ නම්, අපගේ බලවත් සන්නද්ධ හමුදා සිය ආරක්ෂක මෙහෙයුම් අත්හිටවනු ඇත.

දෙසතියක කාලසීමාවකට,  ඉරාන හමුදා සම්බන්ධීකරණය මත, තාක්ෂණික සීමාවන්ට යටත්ව, හෝර්මුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ, බාධාවකින් තොරව නෞකා ගමනාගනයට අවසර හිමිවනු  ඇත," ලෙස එම නිවේදනයේ සඳහන් ය.

ඉරාන යෝජනා


දෙසතියක සටන් විරාම නිවේදනය අභිමුව කරුණු 10කින් යුත් ඉරාන යෝජනාවලිය ලද බව එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීය. එය යුද්ධය අවසන්  කිරීම උදෙසා සාධනීය පදනමකි.

ඉරානය විසින් ඉදිරිපත් කර ඇති කරුණු 10කින් යුත් යෝජනාවලිය මෙසේය:

01.ඉරානයට යළි ප්‍රහාර එල්ල නොකෙරෙන බවට සහතික විය යුතු ය.

02. අවසන, තිරසර ලෙස යුද්ධය අවසන් කළ යුතු අතර එය හුදු සටන් විරාමයක් නොවිය යුතු ය.

03.ලෙබනනය වෙත සිදු කෙරෙන ඊශ්‍රායල ප්‍රහාර නැවැත්විය යුතු ය.

04.ඉරානය වෙත පනවා ඇති එක්සත් ජනපද සම්බාධක සියල්ල අහෝසි කළ  යුතු ය.

05.ඉරාන හිතවාදීන්ට එරෙහි අභ්‍යන්තර ප්‍රහාර අවසන් කළ යුතු ය.

06.ඊට ප්‍රතිචාර වශයෙන්, ඉරානය හෝ ර් මු ස් කලාපය විවෘත කරනු ඇත.

07. ඒ ඔස්සේ යාත්‍රා කෙරෙන නෞකාවකින් ඉරානය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක් අය කෙරේ.

08. ඉරානය එකී  ආදායම්  ඕමානය සමග බෙදා ගනු ඇත.

09.  හෝර්මුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ ආරක්‍ෂිත නෞකා ගමනාගමනය උදෙසා  ඉරානය විසින් නෛතික ප්‍රතිපාදන සම්පාදනය කෙරෙනු ඇත.

10. හෝර්මුස් තරණයෙන් හිමි වන ආදායම් පශ්චාත් යුද ප්‍රතිසංස්කරණ පිණිස උපයෝජනය කෙරේ. වෙනත්  වන්දි ඉල්ලීමක් සිදු නොකෙරේ.

ට්‍රම්ප් ගේ පම්පෝරි

t56756756756
ඉරානය දෙසතියක සටන් විරාම ගිවිසුමකට පිවිසීම එක්සත් ජනපදය ලද පූර්ණ යුද ජයග්‍රහණයක් බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

"සමස්ත, පූර්ණ ජයග්‍රහණයක්. ඔව්. සියයට සියයක්ම. ඒ ගැන කිසි ප්‍රශ්නයක් තියා ගන්න එපා," ඔහු කියා සිටියේය.

ඉරානය සම්බන්ධයෙන් වන කිසියම් හෝ න්‍යෂ්ටික ගැටළුවක් වේ නම්, එය මතු සාකච්ඡාවන්ට ඇතුළත් කෙරෙන බව ද ඔහු අවධාරණය කළේය.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
 4/8/2026
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)

මුලාශ්‍රය :

Iran war live: Trump announces two-week ceasefire as Iran says talks to begin soon

 

Search