"ආයුධ බිම තබා මව්බිම බේරාගැනීමට එක්වන්න" – ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප්ගෙන් ඉරාන ආරක්ෂක අංශවලට විශේෂ ඉල්ලීමක්

"ආයුධ බිම තබා මව්බිම බේරාගැනීමට එක්වන්න" – ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප්ගෙන් ඉරාන ආරක්ෂක අංශවලට විශේෂ ඉල්ලීමක්
 
ඉරාන ආරක්ෂක අංශ සාමාජිකයන්ට වහාම ආයුධ බිම තබන ලෙසත්, රටේ පාලනය වෙනස් කිරීම සඳහා සිදුකෙරෙන ප්‍රයත්නයන්ට සහය දක්වන ලෙසත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විශේෂ ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC), එරට හමුදාව සහ පොලිස් නිලධාරීන් අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ තවදුරටත් සටන් කිරීමෙන් සිදුවන බරපතල ප්‍රතිවිපාක පිළිබඳව තමන් ඔවුන්ට අනතුරු අඟවන බවයි.

"මම නැවත වතාවක් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ, හමුදාවේ සහ පොලිසියේ සියලුම සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ වහාම ආයුධ බිම තබන ලෙසයි. ඔබ සටන් කළහොත් සිදුවන්නේ මිය යාමට පමණයි. දැන් කාලය එළඹ තිබෙන්නේ නැගී සිට ඔබේ මව්බිම නැවත අත්පත් කර ගැනීමට සහය වීමටයි," යනුවෙන් ට්‍රම්ප් සිය ප්‍රකාශයේ සඳහන් කර තිබෙනවා.
 
මෙම ක්‍රියාවලිය සඳහා සහාය දක්වන ආරක්ෂක අංශ සාමාජිකයන්ට පූර්ණ ආරක්ෂාව සලසන බවටයි ජනාධිපතිවරයා මෙහිදී සහතික වී ඇත්තේ.

ඉරාන ආරක්ෂක අංශ වෙත ජනාධිපති ට්‍රම්ප් අවධාරණය කළේ ඔවුන් ඉදිරියේ විකල්ප දෙකක් පමණක් පවතින බවයි.

සහයෝගය දක්වන්නන් හට පූර්ණ ආරක්ෂාව සහ නීතිමය මුක්තිය ලබාදීම සහ අඛණ්ඩව සටන් කරන්නන් හට ස්ථිරවම මරණයට මුහුණ දීමට සිදුවීම එම විකල්ප දෙකයි.

"ඔබට පූර්ණ මුක්තිය සහිතව ආරක්ෂිතව සිටිය හැකියි, නැතහොත් සහතික කළ මරණයට මුහුණ දීමට සිදුවේවි. මම එවැනි දෙයක් දකින්න කැමති නැහැ," යැයි ඔහු වැඩිදුරටත් පැවසුවා.

මීට අමතරව, ලොව පුරා සිටින ඉරාන තානාපති නිලධාරීන්ගෙන් දේශපාලන රැකවරණ පතන ලෙස ඉල්ලා සිටි ට්‍රම්ප්, එවැනි පියවරක් ගැනීම හරහා ඇමරිකාව අපේක්ෂා කරන "නව සහ යහපත් ඉරානයක්" ගොඩනැගීමට මග පෑදෙනු ඇති බව ද සඳහන් කළා.
 
 

Search