Update-විරෝධතාකරුවෝ නේපාල ශ්‍රේෂ්ඨාධිකරණයට – පාර්ලිමේන්තුවට ගිනි තබති

Update-විරෝධතාකරුවෝ නේපාල ශ්‍රේෂ්ඨාධිකරණයට – පාර්ලිමේන්තුවට ගිනි තබති


සමාජ මාධ්‍ය තහනම ඉවත් කළද ආණ්ඩු විරෝධී විරෝධතා අඛණ්ඩව දෙවන දිනටත් ප්‍රචණ්ඩකාරී වීමත් සමග නේපාල අගමැති කේ.පී.ෂර්මා ඔලි සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.


නේපාල අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට මිනිත්තු කිහිපයකට පෙර විරෝධතාකරුවන් එරට පාර්ලිමේන්තුවට හා ශ්‍රේෂ්ඨාධිකරණයට ද කඩා වැදී එයට ගිනි තබා තිබේ. දහස් ගණනක් විරෝධතාකරුවන් සටන් පාඨ කියමින් සහ කොඩි ඔසවමින් පාර්ලිමේන්තුව දෙසට ගමන් කරමින් සිටින බව සමාජ මාධ්‍ය දර්ශනවලින් පෙනිණි.

මේ අතර කත්මණ්ඩු හි ත්‍රිභුවන් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සියලුම ගුවන් ගමන් අවලංගු කළ කර ඇත. ඊයේ (09දා) දහවල් 12:45 ට පමණ ජාත්‍යන්තර ගුවන් ගමන් නතර වූ බව ගුවන්තොටුපළ සාමාන්‍යාධිකාරී හන්සා රාජ් පාණ්ඩේ ප්‍රකාශ කර තිබේ. අගමැති ඇතුළු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් රටින් පලා යෑමට සැලසුම් කරන බවට පැතිර යන කටකතා හේතුවෙන් ත්‍රිභුවන් ජාත්‍යන්තර ගුවන්තොටුපළ වසා දමා ඇත.

ඊයේ කත්මණ්ඩු අගනුවර තත්ත්වය නැවතත් නොසන්සුන් වූ පසු අගමැති සර්ව පාක්ෂික රැස්වීමක් කැඳවා තිබිණි. විරෝධතාකරුවන් ලලිත්පූර් හි සනේපා අසල්වැසි නේපාල කොංග්‍රස් පක්ෂයේ මධ්‍යම කාර්යාලයට ගිනි තැබූ බව ද කත්මණ්ඩු පෝස්ට් පුවත්පත වාර්තා කර තිබේ. විරෝධතාකරුවන් බෝල්කොට් හි අගමැති ඔලි, ජනාධිපති රාම්චන්ද්‍ර පවුඩෙල් සහ ස්වදේශ කටයුතු අමාත්‍ය රමේෂ් ලේඛැක්ගේ නිවාසවලට ද ගිනි තබා ඇත. ඊයේ පෙරවරුවේ සිට කත්මණ්ඩු අගනුවර ඇඳිරි නීතිය පනවා තිබේ.

උද්ගතව ඇති අස්ථාවර තත්ත්වය දේශපාලනිකව විසඳීමට උදව් කිරීමට තමා ඉල්ලා අස්වූ බව නේපාල අගමැති ඔලි පවසා තිබේ. ඇමැති මණ්ඩලයේ සාමාජිකයන් ආරක්ෂිත ස්ථාන කරා ගෙනයෑම සඳහා හමුදාව මැදිහත් වී තිබේ.

මේ අතර සමාජ මාධ්‍ය තහනම් කිරීමට එරෙහි නේපාල විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ඇති වූ ගැටුම්වලින් අවම වශයෙන් පුද්ගලයින් 19 දෙනකු මියයෑමෙන් පසු නේපාල රජය සමාජ මාධ්‍ය තහනම ඉවත් කර තිබේ. ෆේස්බුක් සහ යූ ටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය වේදිකා 26ක් සඳහා පැනවූ තහනම ඉවත් කරන ලෙසත්, දූෂණය පිටුදකින ලෙසත් රජයට බල කරමින් දහස් ගණනක් තරුණ තරුණියන් සඳුදා (08දා) කත්මණ්ඩු අගනුවර පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් ඇතුළු වී තිබිණි. මෙය මර්දනය සඳහා පොලිසිය වෙඩි තැබූ අතර එයින් තරුණයෝ මරණයට පත් වූහ. තරුණ පරම්පරාවේ (ඨැබ) ඉල්ලීම්වලට ආමන්ත්‍රණය කිරීම සඳහා සඳුදා සවස පැවති හදිසි කැබිනට් රැස්වීමකින් පසුව, සමාජ මාධ්‍ය තහනම ඉවත් කිරීමට තීරණය කළ බව සන්නිවේදන හා තොරතුරු අමාත්‍ය ප්‍රිත්වි සුබා ගුරුන්ග් පැවසූ බව වාර්තා වී තිබේ.


නේපාල රජය පසුගිය සතියේ ක්‍රියාත්මක කරන ලද තහනම සාධාරණීකරණය කළේ, ව්‍යාජ ප්‍රවෘත්ති, වෛරී ප්‍රකාශ සහ මාර්ගගත වංචා මැඩපැවැත්වීම වෙනුවෙන් සමාජ මාධ්‍ය තහනම් කරන බව පවසමිනි. ඉන්ස්ටර්ග්‍රෑම් වැනි සමාජ මාධ්‍ය වේදිකා සඳහා නේපාලයේ මිලියන ගණනක් පරිශීලකයින් සිටින අතර ඔවුහු විනෝදාස්වාදය, ප්‍රවෘත්ති සහ ව්‍යාපාර සඳහා ඒවා මත යැපෙති

Search