එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාලව ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නයෝමාලි විජේනායක වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දැනුම් දෙමින් කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර අද (22) වරෙන්තු නිකුත් කළා.
එසේම, මෙම සිද්ධියට අදාල තවත් සැකකරුවකු වන ශමීන්ද්‍ර රාජපක්ෂට රතු වරෙන්තු ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගැනීම මෙතෙක් ප්‍රමාද වූයේ මන්දැයි මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසා සිටි අතර එම සැකකරු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.
සිද්ධියට අදාළ නඩුව අද අධිකරණය කැඳවූ අවස්ථාවේදී මෙලෙස නියෝග කරනු ලැබුවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව මේ වන විට හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වුවා.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින මෙම නඩුව නැවත මැයි 20 කැඳවන බව නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එදිනට සැකකරු රිමාන්ඩ් භාරයේ සිටී නම් විවෘත අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද නියෝග කළා