අඟුරු කුමාරලාටයි, බාල කුමාරලාටයි යන්න වෙන්නේ හිරේ! රට පාලනය කරන්නේ ජනාධිපති නෙවෙයි ධම්මිකයි” – විමල්ගෙන් දැඩි ප්‍රහාරයක් !

අඟුරු කුමාරලාටයි, බාල කුමාරලාටයි යන්න වෙන්නේ හිරේ! රට පාලනය කරන්නේ ජනාධිපති නෙවෙයි ධම්මිකයි” – විමල්ගෙන් දැඩි ප්‍රහාරයක් !


මෙරට ඉතිහාසයේ සිදුවූ දැවැන්තම මූල්‍ය අපරාධය වන “ගල්අඟුරු මගඩිය” සම්බන්ධයෙන් වත්මන් රජයට සහ එහි ක්‍රියාකලාපයට එරෙහිව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ චෝදනා කරයි.

බත්තරමුල්ලේ පිහිටි පක්ෂ මූලස්ථානයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු අවධාරණය කළේ, මෙම වංචාවට සම්බන්ධ “අඟුරු කුමාරලා” සහ “බාල කුමාරලාට” මීළඟ රජයක් යටතේ සිරබත් කෑමට සිදුවන බව සක්සුදක් සේ පැහැදිලි බවයි.

මෙහිදී ඒ මහතා වඩාත් ආන්දෝලනාත්මක චෝදනාවක් එල්ල කරමින් කියා සිටියේ අද රට පාලනය කරන්නේ ජනාධිපතිවරයා නොව, ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා හෙවත් “කැසිනෝ ධම්මික” බවයි.

“ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් මහන්සි වෙලා ජනාධිපති කළේ තමන්ගේ නායකයාව නෙවෙයි, කැසිනෝ ධම්මිකවයි. අද අනුර කුමාරට ධම්මික නැතුව කිසිම පිළිසරණක් නැහැ. ගල්අඟුරු ස්පොට් ටෙන්ඩරය ගත්තෙත් ඔහුයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට 84ක විදේශිකයෙක් ගෙනල්ලා වාඩි කළෙත් ඔහුගේ උපදෙස් මතයි.” යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය.

රජය බලයට පත්වූයේ දූෂණය පිටුදැකීමට වුවද, අද වන විට බරපතල ගල්අඟුරු මගඩියක නිරතව සිටින බවත්, එහි සෘජු ප්‍රතිවිපාක ලෙස විදුලි ඒකකයක පිරිවැය කිහිප ගුණයකින් ඉහළ ගොස් ඇති බවත් හිටපු මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. ටෙන්ඩර් ක්‍රියාවලියේ ප්‍රමාදය නිසා ප්‍රමාද ගාස්තු ලෙස දිනකට ඩොලර් මිලියන ගණනින් ගෙවීමට සිදුව ඇති බවත්, එම බර අවසානයේ පාරිභෝගිකයා මත පැටවෙන බවත් ඔහු කීය.

රටේ විදුලි අවශ්‍යතාවයෙන් 40%ක් සපයන නොරොච්චෝලේ බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු නොමැති වීම නිසා නුදුරේදීම ජනතාවට කළුවරේ සිටීමට සිදුවන “නිල නොවන විදුලි කප්පාදුවක්” දැනටමත් ආරම්භ වී ඇති බවටද ඔහු අනතුරු ඇඟවීය.

ගල්අඟුරු වංචාව සම්බන්ධයෙන් පත් කර ඇති ජනාධිපති විමර්ශන කොමිසම හුදෙක් “කලිසම ඇන්දවීමේ” උත්සාහයක් මිස සැබෑ විමර්ශනයක් නොවන බව ඒ මහතා පවසයි.

විදුලිබල අමාත්‍යාංශයේ ලේකම්වරයාට ඉල්ලා අස්වීමට බල කිරීම නියම හොරුන් බේරා ගැනීම සඳහා සිදුකළ “නර බිල්ලක්” බව ඔහු හැඳින්වීය.

රුසියාවෙන් සෘජුව ගල්අඟුරු ලබා ගැනීමට තිබූ අවස්ථාව අහිමි කරමින්, හිතවත් ව්‍යාපාරිකයන්ට ටෙන්ඩර් ලබා දීම සඳහා කොන්දේසි වෙනස් කළ ආකාරය පිළිබඳ සියලු ලිඛිත සාක්ෂි තමන් සතු බවත්, ඉදිරියේදී ඒවා රට හමුවේ හෙළි කරන බවත් විමල් වීරවංශ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

“මේ මූල්‍ය අපරාධයට එරෙහිව ජනතාව පෙළගැසිය යුතුයි. මීළඟ රජයක් යටතේ මේ අඟුරු කුමාරලාට හිරේ විලංගුවේ ලගින්නට සිදුවීම ස්ථිරයි,” යැයිද හෙතෙම පැවසීය

Search