පෞද්ගලික බස් සහ දුම්රිය ධාවනය සාමාන්‍ය තත්ත්වයට

පෞද්ගලික බස් සහ දුම්රිය ධාවනය සාමාන්‍ය තත්ත්වයට

උත්සව සමයෙන් පසු ජනතාවට සිය දෛනික රාජකාරී සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැලසීමේ අරමුණින් අද (16) සිට බස් සහ දුම්රිය ධාවනය ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බව අදාළ බලධාරීන් ප්‍රකාශ කරයි.

ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ, අද දිනයේ සිට දිවයින පුරා පෞද්ගලික බස් රථ 50%ත් 60%ත් අතර ප්‍රමාණයක් ධාවනයට එක් කරන බවයි.

හෙට (17) වන විට පෞද්ගලික බස් රථ සේවාව සම්පූර්ණයෙන්ම සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට සැලසුම් කර ඇත.

ඊයේ (15) දිනය රාජකාරී දිනයක් වුවද, බලාපොරොත්තු වූ තරම් මගීන් සංඛ්‍යාවක් දක්නට නොලැබුණු බවත්, මේ නිසා විශාල බස් රථ ප්‍රමාණයක් මගීන් නොමැතිව ධාවනය කිරීමට සිදු වූ බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

දුම්රිය ගමන් වාර ඉහළට
දුම්රිය දෙපාර්තමේන්තුව ද අද සිට දුම්රිය ගමන් වාර සංඛ්‍යාව තවදුරටත් ඉහළ නංවා තිබේ.

අප්‍රේල් 18 සහ 19 යන දිනවලදී ද විශේෂ දුම්රිය වාර කිහිපයක් ක්‍රියාත්මක වීමට නියමිතය. විශේෂයෙන්ම අප්‍රේල් 19 වනදා සවස මාතර සිට කොළඹ බලා විශේෂ දුම්රිය වාර කිහිපයක් ධාවනය කෙරෙනු ඇත.

මෙම පියවරයන් හරහා උත්සව සමය නිමා කර යළි පැමිණෙන ජනතාවට සිදුවන අපහසුතා අවම වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Search