මෙරට රන් මිල වාර්තාගත ලෙස ඉහළට - කැරට් 24 රන් පවුමක් රුපියල් ලක්ෂ 4 ඉක්මවයි

 මෙරට රන් මිල වාර්තාගත ලෙස ඉහළට - කැරට් 24 රන් පවුමක් රුපියල් ලක්ෂ 4 ඉක්මවයි

ගෝලීය වෙළෙඳපොළේ රන් මිල ඉහළ යෑම සහ ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් මෙරට රන් මිල අද (09) වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.


ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල රුපියල් ලක්ෂ හතර ඉක්මවා ගියේය.

පැය 24ක් වැනි කෙටි කාලයක් තුළ සිදු වූ මෙම මිල වැඩිවීමත් සමඟ රන් පවුමක මිල මෙතෙක් වාර්තා වූ ඉහළම අගයන් කරා ළඟා වී ඇති බව සමස්ත ලංකා ස්වර්ණාභරණ වෙළෙඳුන්ගේ සංගමය පවසයි.

සමස්ත ලංකා ස්වර්ණාභරණ වෙළෙඳුන්ගේ සංගමයේ ලේකම් ආර්. බාලසුබ්‍රමනියම් සඳහන් කළේ, කැරට් 24 රන් පවුමක මිල රුපියල් 405,000 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

ඊයේ (08) දිනයේ එහි මිල රුපියල් 398,000ක් ලෙස වාර්තා විය.

මේ අතර කැරට් 22 රන් පවුමක මිල රුපියල් 372,600ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඊයේ (08) එහි මිල රුපියල් 366,000ක් ලෙස සටහන්ව තිබිණි.

රන් මිල මෙලෙස ඉහළ යෑම ස්වර්ණාභරණ මිල කෙරෙහි ද සෘජු බලපෑමක් එල්ල කර ඇත. ඒ අනුව රන් පවුමක බරින් යුත් මාලයක මිල රුපියල් 425,000 දක්වාත්, වළල්ලක මිල රුපියල් 435,000 දක්වාත් ඉහළ ගොස් තිබේ. මංගල මුදු මිල ද රුපියල් 20,000ක පමණ කැපී පෙනෙන වැඩිවීමක් පෙන්නුම් කරන බව වාර්තා වේ.

රන් මිල ඉහළ යෑමත් සමඟ දිවයින පුරා පවත්වාගෙන යනු ලබන රන් භාණ්ඩ උකස් මධ්‍යස්ථාන ද රන් පවුමක් සඳහා ලබාදෙන උකස් අත්තිකාරම් මුදල ඉහළ දැමීමට පියවර ගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

(සටහන | ජේ.මුණසිංහ)

 

Search