වෛද්‍යවරයෙක් බිහි කරන්න රජය රුපියල් ලක්ෂ 60ක් වැය කරයි

වෛද්‍යවරයෙක් බිහි කරන්න රජය රුපියල් ලක්ෂ 60ක් වැය කරයි

වෛද්‍යවරයෙකු බිහි කිරීමට ජනතා බදු මුදලින් රුපියල් ලක්ෂ 60කට වඩා වැය කරන බව ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිලගේ  පවසයි. 

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (04) දින පෙරවරුවේ කිරිබත්ගොඩ, පෞද්ගලික රෝහලක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. 

සෙසු අංශ හා සැසදීමේදී වෛද්‍ය පීඨයකට ඇතුළත්ව වෛද්‍යවරයෙකු ලෙස පිටවන ශිෂ්‍යයෙකු වෙනුවෙන් රජය ඉතා ඉහළ මුදලක් වැය කරයි. 

ඉංජිනේරුවෙකු බිහි කිරීමට රුපියල් ලක්ෂ 30ක පමණ මුදලක් රජය දරණ බව ද අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිලගේ  වැඩිදුරටත් අවධාරණය කළේය.

"අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ගත්තාම, අපේ ආණ්ඩුවත් නිදහසෙන් පසුව බලයට පත් වුණ හැම ආණ්ඩුවක්ම කල්පනා කළේ, නිදහස් සෞඛ්‍ය සේවයක් ලබා දෙන්න. දැනටත් අපි කල්පනා කරන්නේ නිදහස් සෞඛ්‍ය සේවය ජනතාවට පුළුවන් ප්‍රමාණයක් ලබා දෙන්න. පුද්ගලයෙක්ගේ පර්ස් එකේ තියෙන සල්ලි මත ඒ පුද්ගලයා ජීවත් වෙනවා ද මිය යනවා ද කියන එක තීරණය කරන්න හොඳ නැහැ කියන එක අපි නිතරම කියන දෙයක්. ඒ නි සා අපි හැකිතාක් උත්සහ කරනවා නිදහස් සෞඛ්‍ය සේවය ශක්තිමත් කරන්න. 

බටහිර වෛද්‍ය විද්‍යාලව ලෝකයේ වේගයෙන් දියුණු වෙනවා. ලංකාවේ වැඩිම බදු මුදලක් වැය කරන්නේ වෛද්‍යවරයෙක් බිහි කරන්න. අපේ රටේ ජනතාව විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන වෛද්‍ය සිසුවා අවුරුදු පහකට පස්සේ ඉන් පිට කිරීම සඳහා රුපියල් ලක්ෂ 60ක් වැය කරනවා. ඉංජිනේරුවරයෙක් බිහි කරන්න අපි වැය කරන්නේ ලක්ෂ 30යි. ඒ වගේ දෙගුණයක් මේ රටේ බදු ගෙවන ජනතාව වැය කරනවා. අපේ රටේ ඉන්නවා 35,000ත් 38,000ත් අතර වෛද්‍යවරු ඉන් 25,000ක් 28,000ක් පමණ රජයේ රෝහල්වල සේවය කරනවා. මේ අය සමාජයේ සුවිශේෂි වගකීමක් දරන අයයි. ඔවුන්ගෙන් සුවිශේෂි සේවාවක් මේ සමාජය අපේක්ෂා කරනවා."

 
adaderana.lk 

Search