නැගෙනහිර අක්කර ලක්ෂයක් ‘සිංහල ජනාවාසවලට හා විදේශීය සමාගම්වලට දීලා’

නැගෙනහිර අක්කර ලක්ෂයක් ‘සිංහල ජනාවාසවලට හා විදේශීය සමාගම්වලට දීලා’

නැගෙනහිර පළාතේ අක්කර ලක්ෂයකට අධික භූමි ප්‍රමාණයක් විවිධ ක්‍රමවේද හරහා අත්පත්කරගෙන ඇති රජය ඒවා සිංහල ජනාවාසකරණයට මෙන්ම බහුජාතික සමාගම් වලට ලබා දීම සදහා භාවිත කර ඇති බවට සිවිල් සමාජ ක්‍රියාධරයකු චෝදනා කර තිබේ.


"නැගෙනහිර පළාතේ, රජය යාන්ත්‍රණ 07ක් හරහා අක්කර ලක්ෂයකට වැඩියෙන් ඉඩම් අත්පත් කරගෙන තියනවා. ඒවා පුරාවිද්‍යාත්මක ස්ථාන කියලත්, සංරක්ෂණ ප්‍රදේශ කියලත්, වන රක්ෂිත කියලත්, පූජා භුමි කියලත්, වනජීවී ප්‍රදේශ කියලත්, සංවර්ධන වැඩසටහන් දියත් කිරිමට යන ප්‍රදේශ කියලත්, සංචාරක ප්‍රදේශ කියලත් අත්පත් කරගෙන සිංහල ජනාවාස, බෞද්ධ විහාරස්ථාන පිහිටුවීම සහ බහුජාතික සමාගම්වලට සැපයීම වැනි බොහෝ අරමුණු සඳහා භාවිතා කරනවා."

සිවිල් සමාජ ක්‍රියාකාරික අට්පුදරාජන් ධනුෂන් එම චෝදනාව එල්ල කර ඇත්තේ ‘ නැගෙනහිර පළාත් ඉඩම් මුදා ගැනීම සඳහා වූ ත්‍රිකුණාමල දිස්ත්‍රික් ක්‍රියාකාරීන්’ නමැති සංවිධානය විසින් 2026 මාර්තු 23 සිට අප්‍රේල් 4 දක්වා ඉඩම් සතිය මැයෙන් සිදු කරගෙන යනු ලබන වැඩ සටහනකට මුල පුරමින් මාර්තු 23 වැනිදා පැවැත්වු මාධ්‍ය හමුවකදීය.

 

කුච්චවේලි  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ ඇති දෙදහසකට ආසන්න සිංහල පවුල් ජීවත් වන ප්‍රදේශයක පමණක් බෞද්ධ විහාරස්ථාන 32 ක් ඉදිකර ඒ අවට භුමිය විහාරස්ථානයට අයත් බව පවසමින් ප්‍රදේශයේ පාරම්පරික දෙමළ, මුස්ලිම් ජනතාවගේ ඉඩම් රාජසන්තක කර පුරා විද්‍යා ස්ථාන ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවත් සිවිල් සමාජ ක්‍රියාකාරික ධනුෂන් එම මාධ්‍ය හමුවේදී පෙන්වා දී තිබුනි.

 

"කුච්චවේලි  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ ඇති ප්‍රදේශයේ සිංහල පවුල් 1,958 ක් ජීවත් වන අතර, එහි විහාරස්ථාන 32 ක් හදලා ඒ ආශ්‍රිත ප්‍රදේශ ඒ විහාරයට අයිතියි කියලා ප්‍රකාශයට පත් කරලා දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ පාරම්පරික ඉඩම් රාජසන්තක කර පුරාවිද්‍යාත්මක ස්ථාන සහ පූජනීය ස්ථාන ලෙස ප්‍රකාශයට පත් කරලා තියෙනවා."

අට්පුදරාජන් ධනුෂන් තව දුරටත් අවධාරණය කර තිබුනේ දෙමළ ජනතාව පරම්පරා ගණනාවක් තිස්සේ වන්දනාමාන කළ ආගමික ස්ථාන පිහිටි නැගෙනහිර පළාතේ  භුමිය රාජසන්තක කර ඔවුන්ගේ වන්දනාමාන කිරීමේ අයිතියට තහංචි පනවා තිබීම නිසා එම බැතිමතුන්ට කෝවිල් වන්දනා මාන කිරිමට සදහා ඒවාට දැන් අයිතිවාසිකම් පානා බෞද්ධ භික්ෂුන් වහන්සේලාගෙන් අවසර ගන්නට සිදුව ඇති බවයි.

රජයේ හමුදාවන්ට අමතරව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, වනසංරක්ෂණ හා වන ජීවි දෙපාර්තමේන්තු, මහවැලි සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක්ම උතුරු නැගෙනහිර දෙපළාතේ දෙමළ ජනයාගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගන්නා බවට පසුගිය සමයේ  දිගින් දිගටම චෝදනාවන්ට ලක්ව තිබුනි. 

 

Search