අරගලයේදී ගෝඨා පලා ගිය නැවේ තොරතුරු දෙන්නැයි කොමිසම කළ නියෝගය අභියාචනාධිකරණයෙන් තහවුරු කරයි

අරගලයේදී ගෝඨා පලා ගිය නැවේ තොරතුරු දෙන්නැයි කොමිසම කළ නියෝගය අභියාචනාධිකරණයෙන් තහවුරු කරයි

අරගලකරුවන් 2022 වසරේ ජූලි මස ජනාධිපති මන්දිරය වැටලූ දින එවකට ජනධිපති සිටි ගෝඨාභය රාජපක්ෂ ඉන් ඉවත්ව පලා යෑම සඳහා යොදාගත් නෞකාව සහ ඒ වෙනුවෙන් දැරීමට සිදු වූ වියදම් පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙස තොරතුරු කොමිසම විසින් නිකුත් කරනු ලැබූ නියෝගයක් තහවුරු කරමින් අභියාචනාධිකරණය විසින් නඩු තීන්දුවක් ලබා දෙන ලදී.


 එදින ගෝඨාභය රාජපක්ෂ යාත්‍රා කළ නෞකාව, ඒ සඳහා ගත කළ කාලය, ගමන් කළ ප්‍රදේශ, ඔහු සමග සිටි වෙනත් අයගේ නම්, මෙම ගමන් සඳහා නාවික හමුදාව දැරූ පිරිවැය සහ එම වියදම් ගෙවා දැමුවේ කවුද යනාදී තොරතුරු  ලබාදෙන ලෙස තොරතුරු දැනගැනීමේ කොමිසම විසින් දෙන ලද නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා  ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉදිරිපත් කළ පෙත්සමක් ප්‍රතික්ෂේප කරමින් අභියාචනාධිකරණය මෙම තහවුරු කිරීම කරන ලදී.

නිශ්චිත සාක්ෂි නොමැති අවස්ථාවක තොරතුරු පනතේ සීමා කිරීම් වලට මුවා වී අදාළ තොරතුරු මුදා නොහැර සිටීමට හැකියාවක් නොමැති බව සඳහන් කරමින් අභියාචනාධිකරණය විසින් එම පෙත්සම ප්‍රතික්ෂේප කරන ලදී.

මෙවැනි තොරතුරු හෙළිදරව් කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව සඳහන් කර ඒවා නිකුත් කිරීම ප්‍රතික්ෂේප කලද, අදාල ගමන් වියදම් හා ඒවා ගෙවූ අය පිළිබඳව තොරතුරු හෙළිදරව් කිරීම හේතුවෙන් ජාතික ආරක්ෂාවට කවර බලපෑමක් සිද්ධ වන්නේද යන්න තහවුරු කිරීමට පෙත්සම්කාර නාවික හමුදාව අසමත් වී ඇති බවට අභියාචනාධිකරණය තීරණය කළ තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉදිරිපත් කර තිබූ මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ ගේ එකඟත්වය ඇතිව විනිසුරු ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

2022 වසරේ මෙරට උද්ගත වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ඇති වූ අරගල කාරී තත්ත්වය හමුවේ එවකට ජනාධිපතිවරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති මන්දිරයෙන් ඉවත් කිරීම සඳහා නාවික හමුදාවේ "ගජබාහු" නැමති නෞකාවකට ගොඩවී ගමන් කළ බවට මාධ්‍ය වාර්තා පලවිය.

අභියාචනය යොමු කර ඇත්තේ කවුද?

 ඔහු  සත්‍ය ලෙසම යාත්‍රා කළ නෞකාව සඳහා ගත කළ කාලය, ගමන් කළ ප්‍රදේශ, ඔහු සමග සිටි වෙනත් අයගේ නම්, මෙම ගමන් සඳහා නාවික හමුදාව දැරූ පිරිවැය සහ එම වියදම් ගෙවා දැමුවේ කවුද යනාදී තොරතුරු ලබාදෙන ලෙස ඒ.ඒ.එම්.ආර්. අලි නමැති අයෙකු විසින් නාවික හමුදාවෙන් ඉල්ලීමක් කර තිබුණි.

 තොරතුරු දැනගැනීමේ පනත යටතේ එම ඉල්ලීම සිදුකර තිබූ අතර අදාල තොරතුරු හෙළිදරව් කිරීම මගින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව සඳහන් කරමින් නාවික හමුදාව විසින් එම තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කළේය.

 නාවික හමුදාවේ තීරණයට එරෙහිව එම පුද්ගලයා තොරතුරු  දැනගැනීමේ කොමිසමට අභියාචනයක් ඉදිරිපත් කළ අතර ඒ පිළිබඳ ව කරුණු සලකා බැලූ කොමිසම   අදාල තොරතුරු ලබාදෙන ලෙස 2023 වසරේ අගෝස්තු මස 29 වනදා නාවික හමුදාවට නියෝග කළේය.

තොරතුරු දැනගැනීමේ කොමිසමේ එම නියෝගය අභියෝගයට ලක් කරමින් මෙම පෙත්සම ගොනු කරමින් නාවික හමුදාව අධිකරණයට පෙන්වා දුන්නේ අදාල තොරතුරු හෙළිදරව් කිරීම තුළින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල වන  බවය.

නෞකාවල ඒවායේ වේගය, මෙහෙයුම් පරාසය වැනි ඉතා සංවේදී තොරතුරු  තුන්වැනි පාර්ශවයකට ලබාදීමක් සිදුකළහොත් එමගින් ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක් එල්ල විය හැකි බවට අදාළ පෙත්සම මගින් කරුණු ඉදිරිපත් කර තිබුණි.

එබැවින් තොරතුරු දැන ගැනීමේ කොමිසම විසින් දෙන ලද එම නියෝගය බල රහිත කරන ලෙස නාවික හමුදාව අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙම පෙත්සමෙහි වගඋත්තරකරු ලෙස නම්කර සිටින තොරතුරු ඉල්ලුම්කරු  සඳහන් කර සිටින්නේ බදු ගෙවන්නෙකු මෙන්ම පුරවැසියෙකු වශයෙන් මෙවැනි රාජ්‍ය වියදම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට තමන්ට අයිතියක් ඇති බවය.

 

එසේම තමන් විසින් ඉල්ලා සිටි තොරතුරු හෙළිදරව් කිරීම තුළින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් සිදු නොවන බවට ඔහු විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණි.

මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු සලකා බැලීමෙන් අනතුරුව ඒ සම්බන්ධ තීන්දුව ලබාදෙමින් විනිසුරු මඩුල්ල සඳහන් කළේ, ජාතික ආරක්ෂාව හා සම්බන්ධ ඉතා සංවේදී තොරතුරු පුරවැසියන් වෙත නිකුත් නොකර සිටීමට තොරතුරු දැන ගැනීමේ පනතේ ප්‍රතිපාදන ඇති බවය. එහෙත් එවැනි තොරතුරු හෙළිදරව් නොකර සිටීමට නම් ජාතික ආරක්ෂාවට අගතියක් සිදුවන බව ඔප්පු කළ හැකි ප්‍රබල කරුණු පෙත්සම්කාර පාර්ශවය විසින් අධිකරණයට ඉදිරිපත් කළ යුතු බව පෙන්වා දෙන විනිසුරු මඩුල්ල, මෙම නඩුවේදී එවැනි තහවුරු කිරීමක් සිදුකිරීමට පෙත්සම්කාර පාර්ශවය අසමත් වී ඇති බව ට තීන්දු  කර ඇත.

ඒ අනුව අදාළ තොරතුරු ලබාදෙන ලෙස තොරතුරු කොමිසම විසින් දෙන ලද නියෝගය තහවුරු කිරීමට විනිසුරු මඩුල්ල විසින් තීරණය කරන ලදී.

එසේම තොරතුරු කොමිසම විසින් දැන ලද නියෝගය බල රහිත කරන ලෙස නාවික හමුදාව විසින් ඉදිරිපත් කළ  ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමටද විනිසුරු මඩුල්ල විසින් තීරණය කරන ලදී.

(සටහන | නෙල්කා මැදගෙදර)
'ද ලීඩර්' අධිකරණ වාර්තාකාරිණි ) 

 

theleader.lk 

Search