මෑතකදී සිදු කරන ලද හදිසි ඉන්ධන මිල ඉහළ දැමීම පිටුපස කුමන්ත්‍රණයක් පවතින බවත්, දැනට ගබඩා කර ඇති පැරණි ඉන්ධන තොග මත මිල වැඩි කිරීම හරහා රජය රුපියල් කෝටි 700කට අධික අයථා ලාභයක් ලබාගැනීමට සැරසෙන බවත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ චෝදනා කරති.
වර්තමාන රජය “කළු කඩයක්” බවට පත්ව ඇති බව පවසන පාඨලී චම්පික රණවක පෙන්වා දෙන්නේ, පෙබරවාරි 28 වැනිදා රජයේ මාධ්‍ය සාකච්ඡාවකදී ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා දින 35කට ප්‍රමාණවත් ඉන්ධන සංචිත ඇති බව ප්‍රකාශ කර තිබියදී, මෙලෙස හදිසියේ ඉන්ධන මිල ඉහළ දැමීම ජනතාවට කළ වංචාවක් බවයි.
පසුගිය මාසයේ ඩොලර් 70කට පමණ මිලදී ගත් බොරතෙල්, ලෝක වෙළෙඳපොළේ මිල උච්චාවචනය වීම් නොතකා කළුකඩ මිලට විකිණීම රටේ ආර්ථිකයට විශේෂයෙන්ම මෝටර් සයිකල්, ත්‍රීරෝද රථ, බස් සහ ලොරි රථ හිමියන්ට මෙන්ම විදුලි උත්පාදනයට ද එල්ල කළ මරු පහරක් බව ඔහු සඳහන් කළේය.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ රණවක මෙසේ පැවසීය:
“මේ අවස්ථාව වන විට අපිට ලැබී තිබෙන තොරතුරු අනුව ආණ්ඩුවේ ගබඩාවල ලීටර් මිලියන 300කට අධික ඉන්ධන තිබිලා තියෙනවා. ඒ අනුව මේ වනවිට හොයාගෙන ඇති අයතා ලාභය කෝටි 700කට වඩා වැඩියි.”
'තෙල් මිල වැඩි කිරීමෙන් ආණ්ඩුවට රු. කෝටි 700ක අමතර ආදායමක්' - පුබුදු ජයගොඩ
මේ අතර, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩ ද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් කියා සිටියේ, මෙම හදිසි මිල වැඩිවීම හේතුවෙන් කෝටි හත්සීයක් ජනතාවගෙන් මංකොල්ලකෑමට ආණ්ඩුව උත්සාහ දරන්නේද යන සැකය මතුවන බවයි.
ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් දිගුකාලීන විසඳුමකට මැදිහත් වන ලෙස ද ඔහු රජයෙන් ඉල්ලා සිටියේය.
මෙම මිල ඉහළ දැමීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පුබුදු ජයගොඩ මෙසේද පැවසීය:
“මැදපෙරදිග ඇතිවෙලා තියන යුද්ධය පාවිච්චි කරමින් ඊයේ රාත්‍රියේ ඉන්ධන මිල ඉහළ දාන්න ආණ්ඩුව කටයුතු කළා. ඒ අනුව ඩීසල් ලීටරයක් රුපියල් 22කින්, සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 24කින්, 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 25කින් සහ 92 පෙට්‍රල් ලීටරයක් 24කින් විදිහට විශාල මිල වැඩිවීමක් ඊයෙ දවසෙදි සිදු වුණා. ආණ්ඩුව පැත්තෙන් මේ මිල වැඩි වීමට හේතුව විදිහට මැදපෙරදිග කලාපයේ ඇතිවෙලා තියෙන යුද්ධය පෙන්වන්න උත්සහ කළාට මේක පිටුපස යම්කිසි කුමන්ත්‍රණයක් තියනවද කියන සැකය අපිට මතුවෙනවා.
ඒකට හේතුව තමයි මේ යුද්දය ඇතිවෙන මුල් අවස්ථාවේදීම රටේ ජනතාව ඉන්ධන අර්බුදයක් ඇතිවෙන්න නියමිතයි කියලා පූර්ව උපකල්පනයක් කරලා පෝලිමේ ගිහිල්ලා තෙල් එකතුකරගන්න වෙලාවේ ආණ්ඩුව දක්වපු ප්‍රතිචාරය. ආණ්ඩුව පැත්තෙන් දිගින් දිගටම කිව්වා රටේ අවශ්‍ය තරම් තෙල් සංචිත තියනවා. ඒ නිසා බොරුවට තෙල් රැස් කරගන්න අවශ්‍ය නැහැ කියලා. දැන් එහෙම කියපු ආණ්ඩුවම තමයි හදිසියේම තෙල් මිල ඉහළ දාලා තියෙන්නේ.”
ජනතාව පීඩාවට පත් කරමින් මෙලෙස අයතා ලාභ ලැබීම වෙනුවට විධිමත් බලශක්ති ප්‍රතිපත්තියක් හරහා ඉල්ලුම කළමනාකරණය කළ යුතු බව මෙම දේශපාලන පාර්ශ්ව දෙකම දැඩිව අවධාරණය කර සිටියි.
theleader,lk
(lankalokaya | අසේල පෙරේරා)