හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ වෙනුවෙන් අධිකරණයට අද විශේෂ මෝසමක්!

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ වෙනුවෙන් අධිකරණයට අද විශේෂ මෝසමක්!

විමර්ශනවල පක්ෂග්‍රාහී බවට සහ අයිතිවාසිකම් කඩවීමට එරෙහිව බරපතල චෝදනා


පසුගියදා අත්අඩංගුවට පත් වූ හිටපු බුද්ධි ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ ගේ නීතිඥයින් විසින් අද (11) මීට සුළු මොහොතකට පෙර, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත විශේෂ මෝසමක් ඉදිරිපත් කර ඇති බව පොලිස් ආරංචිමාර්ග පවසයි.

35882/24 දරණ නඩු අංකය යටතේ ගොනු කර ඇති මෙම මෝසම මගින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තබාගෙන සිටින සැකකරුගේ මූලික අයිතිවාසිකම් කඩවීම් සහ විමර්ශනවල පක්ෂග්‍රාහී බව සම්බන්ධයෙන් කරුණු රැසක් අධිකරණයට වාර්තා කර ඇත.

මෝසම මගින් ඉදිරිපත් කරන ආකාරයට, 2026 පෙබරවාරි 25 වන දින සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔහුගේ නිවස පරීක්ෂා කර ඇත. එහිදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නිවසක් සෝදිසි කිරීමට සෝදිසි වරෙන්තුවක් අවශ්‍ය නොවන බව පවසමින් කිසිදු කාන්තා පොලිස් නිලධාරිනියක් නොමැතිව එම පරීක්ෂාව සම්පූර්ණයෙන් සිදු කර තිබේ.

 

එසේම, රැඳවුම් නියෝගයක් ලබා ගෙන පැය 48ක් ඉක්මවීමට පෙර අදාළ මහේස්ත්‍රාත්වරයා වෙත එහි සහතික පිටපතක් ලබා නොදීම මගින්, 2022 අංක 12 පනත මගින් සංශෝධනය වූ 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැලැක්වීමේ (තාවකාලික විධි විධාන) පනතේ "9 අ" වගන්තිය පැමිණිලිකරු වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විටත් උල්ලංඝනය කර ඇති බවද මෝසමේ සඳහන් කර ඇත.

 

ආරංචිමාර්ග තවදුරටත් සඳහන් කරන ආකාරයට, සැකකරුට සිය නීතිඥවරයා හමුවීමට අවසර ලබා දී තිබුණද, එම හමුවීම තුළ නිලධාරීන් දෙදෙනෙකු ඔවුන්ට මුහුණලා වාඩි වී සංවාදයේ සටහන් තබාගෙන ඇති අතර, එක් නිලධාරියෙකු ජංගම දුරකථනයෙන් එය පටිගත කිරීමටද උත්සාහ කරමින් නීතිඥ-සේවාදායක රහස්‍යභාවය සම්පූර්ණයෙන්ම කඩ කර ඇත.

මීට අමතරව සැකකරුගේ සහෝදරයා ඔහු බැලීමට ගිය අවස්ථාවේදී, තමා මානසික වධයකට සහ අවමන් සහගත සැලකිල්ලකට භාජනය වන බව සැකකරු ප්‍රකාශ කර ඇති අතර, මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වෙත ලිඛිත පැමිණිල්ලක් කර ඇතත් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවද අධිකරණයට දැනුම් දී තිබේ.

 

මෝසම මගින් පෙන්වා දී ඇති තවත් බරපතල කරුණක් වන්නේ විමර්ශන කණ්ඩායමේ පක්ෂග්‍රාහී බවයි. 2024.06.12 දින පත් කරන ලද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු A.N.J. ද අල්විස් කමිටුව මගින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ශානි අබේසේකර සහ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනවිරත්න යන මහත්වරුන්ට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ චෝදනා ගොනු කළ යුතු බවට නිර්දේශ කර ඇත. ඒ අනුව, කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක B 1411/22 සහ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක B 34097/24 යටතේ ඔවුන්ට එරෙහිව අපරාධ විමර්ශනයක් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක, මෙම පුද්ගලයන් විසින් සැකකරුට එරෙහිව සිදු කෙරෙන විමර්ශනයේ ප්‍රධානත්වය ගැනීම තුළින් විමර්ශනයේ අසාධාරණභාවය සහ ලබැඳියාවන් අතර ඝට්ටනයක් තහවුරු වන බව මෝසමේ වැඩිදුරටත් දැක්වේ.

 

මෙම කරුණු පදනම් කරගනිමින්, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 115(1) වගන්තිය යටතේ සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසටත්, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 125 වගන්තිය යටතේ මෙම විමර්ශනය වෙනත් අපරාධ විමර්ශන කණ්ඩායමකට මාරු කරන ලෙසට පොලිස්පතිවරයාට නියෝග කරන ලෙසටත් නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා ඇත.

එසේම, සැකකරුගේ ජීවිතයට හානියක් වේ යැයි පවතින බිය සහ ආහාරවලට වස මිශ්‍ර කිරීමේ අවදානම සලකා, අධිකරණ අවසරයකින් තොරව ඔහුව දෙපාර්තමේන්තුවෙන් පිටතට ගෙන යාම වළක්වන ලෙසත්, නිවසින් ආහාර ලබාදීමට සහ 3 වන සැකකරු අධිකරණ මානසික විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු කරන ලෙසත් ඉල්ලා තිබේ.

ඊට අමතරව, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන වගන්තිය ප්‍රකාරව රහස්‍යභාවය සුරකිමින් නීතිඥයින්ට සහ පවුලේ සාමාජිකයින්ට සතියකට දින දෙකක් සැකකරු වෙත ප්‍රවේශය ලබාදීමට නියෝග කරන ලෙසද අදාළ මෝසමෙන් ඉල්ලා ඇති බව ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

 

theleader,lk 

Search