ගෝලීය තත්ත්වවලට කලින්ට වඩා සූදානම් - මහ බැංකු අධිපති

ගෝලීය තත්ත්වවලට කලින්ට වඩා සූදානම් - මහ බැංකු අධිපති

මැද පෙරදිග යුද ගැටුම් නිසා ඉහළ යමින් තිබෙන බොරතෙල් මිල ගණන්, සහ ආර්ථික සහ අනෙකුත් තත්ත්වලට සාර්ථකව මුහුණ දිය හැකි බවත් ශ්‍රී ලංකාව ඊට කලියෙන්ට වඩා සූදානම් බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළේ ය.


යුද ගැටුම් හේතුවෙන් ඇතිවිය හැකි අවදානම් තත්ත්ව, දේශපාලනඥයන් සහ නිලධාරීන් ප්‍රකාශ කරනවාට වඩා පුළුල් හා විශාල විය හැකි නමුත්, 2022 වසරේ ආර්ථික අර්බුදය ඇති වූ අවස්ථාවට වඩා, ගෝලීය බලශක්ති ප්‍රවණතා ද ඇතුළුව වත්මන් අස්ථාවර සහ අවිනිශ්චිත තත්ත්වවලට මුහුණ දීමට රට සූදානම් බව මහ බැංකු අධිපතිවරයා පැවැසීය.

මැද පෙරදිග තත්ත්වයෙන් ශ්‍රී ලංකාවට සිදුවිය හැකි බලපෑම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු ඒ බව ප්‍රකාශ කළේ ය.

ශ්‍රී ලංකාව සතුව දැනට ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 7ක විදේශ සංචිතයත් අඩු උද්ධමන තත්ත්වයත් මැද පෙරදිග යුද ගැටුම් නිසා, ගෝලීය තෙල් මිල ගණන්වලින් එල්ල වන හෝ ඇතිවිය හැකි හෝ කම්පනවලට මුහුණ දීම සඳහා ආරක්ෂිත තත්ත්වයක් සපයන බව අධිපතිවරයා කීවේ ය.

පසුගිය මාසය අවසානයේ දී මෙරට උද්ධමනය සියයට 1.6 අගයක පැවැති අතර, එය සියයට 5ක උද්ධමන ඉලක්කයට වඩා අඩු තත්ත්වයකි. මෙම අඩු උද්ධමන තත්ත්වය, ඉහළ යන ඉන්ධන මිල ගණනවලින් එල්ල වන පීඩනය අවශෝෂණය කරගැනීමට උපකාරී වනු ඇතැයි ද අධිපතිවරයා කීය. එම නිසා, තෙල් මිල ගණන් ඉහළ ගිය ද, අසීමාන්තික සහ සීග්‍ර වේගයෙන් ඉහළ යන උද්ධමන තත්ත්වයක් ඇති නොවී, තත්ත්වය පාලනය කරගැනීමට හැකිවනු ඇතැයි ද ඔහු පැහැදිලි කළේ ය.

කෙසේ නමුත් ජාත්‍යන්තර තෙල් වෙළෙඳපොළේ තත්ත්වය ඉතාම සංකීර්ණ වන අතර යුද ගැටුම් හේතුවෙන් වර්තමාන තත්ත්වය වඩාත් සංකීර්ණ සහ තීව්‍ර වී තිබේ. 


මැද පෙරදිග යුද්ධය හේතුවෙන් බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල සඳුදා දිනය අවසානයේ දී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 93ක් ලෙස දැක්වුණු අතර සඳුදා දිනය තුළ බැරලයක මිල 120ක් දක්වා ඉහළ ගොස් තිබිණි. ඇමෙරිකා-ඊශ්‍රායල-ඉරාන යුද්ධය හේතුවෙන් ගල්ෆ් කලාපය කේන්ද්‍ර කරගනිමින් සිදුවන නෞකා ගමනාගමන සහ වෙළෙඳ කටයුතුවලට විශාල බලපෑමක් එල්ල වී තිබේ. ගල්ෆ් කලාපය ලොව වඩා වැදගත්ම බලශක්ති කේන්ද්‍රස්ථානවලින් එකක් වන අතර නෞකා ගමනාගනයේ සහ බොරතෙල් ප්‍රවාහනයේ ප්‍රධාන මර්මස්ථානයකි.
 
මෙම යුද්ධය හේතුවෙන් ඉරානයට පාලනය කළ හැකි හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන බොරතෙල් ප්‍රවාහනයට විශාල බලපෑමක් එල්ල වී තිබෙන අතර, සඳුදා දිනයේ එක් අවස්ථාවකදී බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 110 ඉක්මවා ගියේ ය. කොටස් වෙළෙඳපොළවල් ද සැලකිය යුතු ලෙස පහත වැටී තිබිණි. 
යුද්ධයෙන් සිදුවන දීර්ඝකාලීන බලපෑම් නිසාත්, බලශක්ති ක්ෂේත්‍රයට දිගින් දිගටම එල්ල වන බාධා නිසාත්, ගෝලීය වෙළෙඳපොළවලට බරපතල කම්පන සිදුවිය හැකි යැයි කලාපයේ බලශක්ති අමාත්‍යවරු මේ වනවිටත් අනතුරු අඟවා ඇත.

රටේ විදේශ සංචිත කඩා වැටී, ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය දෑ මිලදී ගැනීමට නොහැකි වූ 2022 වසරට වඩා මෙම තත්ත්වය වෙනස් යැයි මහ බැංකු අධිපතිවරයා පැවැසීය.

දැනට පවතින රාමුව යටතේ, නම්‍යශීලී විදේශ විනිමය අනුපාතිකයකට අවස්ථාව සලසා ඇති බවත්, එය කම්පන අවශෝෂණය කරගනු ඇති බවත් අධිපතිවරයා කීය. එමෙන්ම දැනට ක්‍රියාත්මක පිරිවැය පිළිබිඹු කරන මිල/මිලකරණ යාන්ත්‍රණය හේතුවෙන් විශාල මූල්‍ය හිඟ ඇති නොකරමින් ගෝලීය වෙළෙඳපොළවලට ගැලපෙන පරිදි ඉන්ධන මිල ගණන් සැකසීමට අවස්ථාව සැලැසී ඇතැයි ද හෙතෙම කීය.

කෙසේ නමුත් තෙල් ආනයනය කරන ආර්ථිකයක පවතින අවදානම් තත්ත්ව මෙම යාන්ත්‍රණවලින් පහව නොයන බවත්, එම අවදානම් ඉවත් නොවෙන බවත් ආර්ථික විද්‍යාඥයෝ පෙන්වාදෙති.
 
ඉතාම කෙටි කාලයක් තුළ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ගණන් සියයට 30කින් ඉහළ යන අවස්ථාවලදී සංවර්ධන වෙමින් පවතින ආර්ථික තීව්‍ර උද්ධමනකාරී අඩුවැඩිවීම්වලට මුහුණ දෙන බව ලෝක බැංකුවේ දත්ත පෙන්වාදෙයි.
 
ශ්‍රී ලංකාවේ ප්‍රවාහනය, විදුලිබල උත්පාදනය සහ කාර්මික නිෂ්පාදනය යනාදී බොහෝමයක් කටයුතු, ආනයනය කෙරෙන ඉන්ධන මත රඳා පවතී. එබැවින් මෙම තත්ත්ව මත සිදුවන බලපෑම් ක්ෂේත්‍ර ගණනාවකටත් අංශ ගණනාවකටත් ව්‍යාප්ත විය හැකි ය.

එපමණක් නොවේ රටේ බාහිර මූල්‍ය අවශ්‍යතා සහ ආනයන වියදම් සැලකීමේදී, ඩොලර් බිලියන 7ක සංචිතය යනු ඉතාම මධ්‍යස්ථ අගයකි.

විශේෂයෙන්ම ගෝලීය තෙල් වෙළෙඳාම ඩොලර්වලින් සිදුවන බැවින්, ශක්තිමත් ඩොලරයකින් එල්ල විය හැකි පීඩනය වැඩි විය හැකි යැයි ද අධිපතිවරයා කීවේය.

අස්ථාවර සහ අවිනිශ්චිත තත්ත්වය ඉහළ ගියහොත්, මූල්‍ය වෙළෙඳපොළට මැදිහත් වීමේ හැකියාව ශ්‍රී ලංකා මහ බැංකුව සතුව ඇති බවත් හෙතෙම පැවැසීය.
 
සියයට 5කට ළඟා වෙමින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන අපේක්ෂා මෑතකදී ඉහළ ගිය අතර, මෙම තත්ත්වය ගෝලීය කම්පනවලට ගොදුරු වීමේ අවදානමක් පවතී. භූ දේශපාලනික අවදානම් තත්ත්ව හේතුවෙන් බොරතෙල් මිල අඛණ්ඩව ඉහළ ගියහොත් සහ නෞකා ප්‍රවාහන වියදම් වැඩිවීම ඇතුළු සැපයුම් පද්ධතියට බාධා එල්ල වුවහොත් ව්‍යාපාරවලට සහ පාරිභෝගිකයන්ට ඉතාම ඉහළ මිල ගණන් සහ පිරිවැය තත්ත්වවලට මුහුණ දීමට සිදුවනු ඇත.
 
ශ්‍රී ලංකාව සිය ආර්ථිකය යථා තත්ත්වයට පත් කරගනිමින් සිටින්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක විස්තීර්ණ ණය/මූල්‍ය පහසුකම යටතේ ය. එබැවින් ශ්‍රී ලංකාව වර්තමානයේ පසුවන්නේ ද ඉතාම තීරණාත්මක කාල සමයක වන අතර පස්වැනි සහ හයවැනි සමාලෝචනය එකවර කිරීම කෙරෙහි අවධානය යොමු වී තිබේ.

ආර්ථිකය කොතරම් සූදානම් කළත්, කම්පනවලට මුහුණ දීම සඳහා අවරෝධක තිබුණ ද වත්මන් තත්ත්වය සැලකිල්ලට ගැනීමේ දී බොහෝ දේ තීරණය වනු ඇත්තේ දේශීය ප්‍රතිපත්ති මත නොව, භූදේශපාලනික කාරණා හේතුවෙන් ගෝලීය බලශක්ති වෙළෙඳපොළවල සහ අනෙකුත් අංශවල සිදුවන වෙනස්වීම් මත යැයි විශේෂඥයෝ පෙන්වාදෙති. 

Search