පුතාට පියාව බලන්න පොලිස් වාර්තා ගෙන එන්න කියයි ! - සලේගේ පුතාව පැය තුනක් රස්තියාදු කර ගෙදර යවයි

පුතාට පියාව බලන්න පොලිස් වාර්තා ගෙන එන්න කියයි ! -  සලේගේ පුතාව පැය තුනක් රස්තියාදු කර ගෙදර යවයි

හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටින ක්‍රියාපටිපාටිය මේ වන විට බරපතල මානව හිමිකම් සහ නීතිමය උල්ලංඝනයන් රැසක් නිර්මාණය කර තිබේ.


දේශපාලනික අතපෙවීම් මධ්‍යයේ සිදුවන මෙම අත්තනෝමතික විමර්ශනයේ නවතම අමානුෂික සිදුවීම අද(07) දිනයේදී වාර්තා විය.



පුතාට පියා බලන්නත් පොලිස් වාර්තා ඉල්ලයි! පැය තුනක් රස්තියාදු කර ගෙදර යවයි

අද දිනයේදී සිය පියා බැලීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය සලේ මහතාගේ 21 හැවිරිදි පුත්‍රයාට CIDය විසින් අමානුෂික ලෙස සලකා ඇත. පියා බැලීමට නම් අනිවාර්යයෙන්ම පොලිස් නිෂ්කාශන වාර්තාවක් (Police Clearance Report) ගෙන ආ යුතු බව පවසමින්, එම වාර්තාව නොමැති වූ නිසා ඔහුව පැය තුනක් පුරා රස්තියාදු කර, අවසානයේ පියාව බැලීමට ඉඩ නොදී ආපසු හරවා යවා තිබේ.

 

මේජර් ජෙනරාල් සලේ මහතාගේ බිරිඳ විසින් මීට පෙරද CID අධ්‍යක්ෂවරයා වෙත ලිඛිතව දන්වා තිබුණේ සිය පුතුට අදාළ පොලිස් වාර්තාව ලබාගැනීමට අයදුම් කර තිබුණද පොලිසියෙන් එය මෙතෙක් නිකුත් කර නොමැති බැවින්, එම ප්‍රමාදය මත බල නොකර පියා බැලීමට අවසර දෙන ලෙසයි. එහෙත් එම සාධාරණ ඉල්ලීම පවා කුරිරු ලෙස ප්‍රතික්ෂේප කර ඇත.

 

ඊයේ (06) පාර්ලිමේන්තුවේදී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා විසින් මෙම ඛේදනීය තත්ත්වය දැඩිව විවේචනයට ලක් කළේය. "සලේ මහතාව බැලීමට යන ඕනෑම අයෙකුට පොලිස් වාර්තාවක් ගෙන එන ලෙස CIDය දන්වා තිබෙනවා. තමන්ගේ පුතාට අවුරුදු 21යි. ඒ දරුවා අරන් එන්න ඕනේ පොලිස් වාර්තාවක් සලේ මහත්මයාව බලන්න. මේක ලංකාවේ තියෙන පුදුම නීතියක්" යැයි පවසමින් ඔහු මෙහි ඇති අසාධාරණත්වය හා විමතිය පාර්ලිමේන්තුව හමුවේ හෙළි කළේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ වුවද රඳවා තබා ගන්නා සැකකරුවෙකුට තම සමීපතම පවුලේ සාමාජිකයින් හමුවීමට ඇති මූලික මානව අයිතිවාසිකම මෙලෙස අත්තනෝමතික කොන්දේසි පනවමින් උල්ලංඝනය කිරීම මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තීන්ට මෙන්ම අපරාධ නඩු විධාන සංග්‍රහයේ මූලික හරයන්ට ද පටහැනිය.



නීතිඥ රහස්‍යභාවය අමු අමුවේ උල්ලංඝනය කිරීම


පුත්‍රයාට පියා බැලීම තහනම් කරන CIDය, නීතිඥවරුන්ට තම සේවාදායකයා හමුවීමට අවස්ථාව ලබා දී ඇත්තේද නීතිය අමු අමුවේ උල්ලංඝනය කරමිනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සෘජු අධීක්ෂණය යටතේ නීතිඥවරුන්ට තම සේවාදායකයා හමුවීමට සිදුවී ඇති බවත්, නීතිඥවරයෙකු තම සේවාදායකයා සමග කතා කරන දේවල් පොලිසිය සටහන් කරගැනීම නීතිඥ වෘත්තියට කරන දැඩි නිග්‍රහයක් සහ බාධාවක් බවත් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

"නීතිඥයෙක් එනවා නම් එන්න ඕනේ ඔහු බලාගෙන ඉන්නකොට කතා කරන්න. මේවා මොකක්වත් නෑ." යැයි පවසමින් ඔහු මෙම නීති විරෝධී ක්‍රියාව හෙළා දුටුවේය.

නීතිඥවරයෙකු සහ සේවාදායකයෙකු අතර සිදුවන සාකච්ඡාවලට සවන්දීම සහ ඒවා සටහන් කරගැනීම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(3) වගන්තියෙන් තහවුරු කර ඇති 'නීතිඥ සහාය ලබාගැනීමේ අයිතිය' මෙන්ම, සාක්ෂි ආඥාපනතේ 126 වැනි වගන්තිය මගින් සුරක්ෂිත කර ඇති 'වෘත්තීය සන්නිවේදනයේ පූර්ණ රහස්‍යභාවය' (Lawyer-Client Privilege) සහමුලින්ම කඩකිරීමකි.


සබැඳි ලිපි :

'සැකකරුවෙකුත් නොවන සලේව ත්‍රස්ත පනතින් රඳවාගත්තේ කොහොමද? විමර්ශකයින් මාලිමාවේ දේශපාලන ක්‍රියාකාරීන්!" - දයාසිරි පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි

 

Search