දෙවැනි ඉරාන නැවේ සිටි මගීන් බේරා ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ගත් තීරණයට ගෞරවය පුද කරන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.
චම්පික රණවක මේ බව පවසන්නේ සමාජ මාධ්‍යයේ සටහනක් තබමිනි.
"ශ්‍රී ලාංකීය අනන්‍යතාවය රකිමින්, මානුශීය දයාව අන් සියල්ලට ඉහලින් ඇතිබව ලොවට පෙන්වීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගත් එඩිතර තීරණයට අපගේ ගෞරවය" යනුවෙන් චම්පික රණවක සටහන් කරයි.
මේ අතර පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසන්නේ, ඉරාන නෞකාවට ත්‍රිකුණාමල වරායට පැමිණීමට අවසර දීමට රජය ගත් තීරණය ඉතා හොඳ බවයි.
ඉරාන නෞකාවක් වන IRIS Bushier හට ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී ත්‍රිකුණාමල වරායට පැමිණීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ගත් තීරණය අගය කරන බව නාමල් රාජපක්ෂ පවසයි.
මානුෂීය හේතූන් මත එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් 208 දෙනෙකු කොළඹට ගෙන ඒමට ද පියවර ගෙන තිබේ.
සමාජ මාධ්‍ය වේදිකාවක් වන X හි පළ කරන ලද පණිවිඩයක නාමල් රාජපක්ෂ සඳහන් කර ඇත්තේ, පවතින කලාපීය ගැටුම් මධ්‍යයේ ශ්‍රී ලංකාව මධ්‍යස්ථ ස්ථාවරයක් පවත්වා ගැනීමේ වැදගත්කම මෙම පියවර මගින් පිළිබිඹු වන බවයි.
අවශ්‍ය විටෙක මානුෂීය ආධාර ලබා දෙන අතරම ජාත්‍යන්තර නීතිය යටතේ තම බැඳීම් ආරක්ෂා කිරීම ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය බව ඔහු පවසයි.
ගල්ෆ් කලාපය පුරා සහ ගෝලීය වශයෙන් සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා ගැටුමට සම්බන්ධ සියලු පාර්ශ්වයන් අතර සංවාදය දිරිමත් කිරීමට ශ්‍රී ලංකා රජය දිගටම කටයුතු කරනු ඇතැයි නාමල් රාජපක්ෂ ද බලාපොරොත්තු පළ කරයි.
ඉන්දියානු සාගරයේ සමුද්‍රීය ආරක්ෂාව සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා ඉන්දියාව ඇතුළු කලාපීය හවුල්කරුවන් සමඟ රජය සමීපව සම්බන්ධීකරණය කිරීමේ වැදගත්කම ඔහු තවදුරටත් අවධාරණය කර සිටියි.
theleader.lk