ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය ඇමැතිවරයාගේ පුද්ගලික ලේකම්වරයා විසින් ඉඩම් රාජකාරි සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට දේශපාලන බලපෑම් කිරීම ගැන විරෝධය පලකරමින් ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය වෙත පැමිණිලි කර තිබේ.
ශ්‍රී ලංකා ප්‍රාදේශිය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශිය ලේකම්වරුන්ගේ සංගමයේ සභාපති ආර්.සෙන්තිල්ගේ සහ එම සංගමයේ ලේකම් ආර්. එම් නුවන් සී හේමකුමාරගේ අත්සනින් යුතුව 2026 පෙබරවාරි 10 වැනිදා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම් වෙත පැමිණිලි කර ඇත්තේ ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් විතාරණගේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු කරමින් සිටින එන්.ටී.රුක්මල් ජයවීර විසින් අවස්ථා කිහිපයක දීම ඉඩම් රාජකාරී වලදී ප්‍රාදේශීය ලේකම් වරු වෙත විවිධ බලපෑම් එල්ල කරමින් ලිපි ඉදිරිපත් කර ඇති බවයි.
අමාත්‍යතුමා වෙත හෝ නියෝජ්‍ය අමාත්‍යතුමා වෙත ඉදිරිපත් වන මහජන ඉල්ලීම් සම්බන්ධයෙන් නිරීක්ෂණ ලබා ගැනීමේදී ඉඩම් රාජකාරී සඳහා අහිතකර දේශපාලන මැදිහත්වීම් සිදු නොවන ආකාරයෙන් කටයුතු කළ හැකික්‍රමවේදයක් ද ශ්‍රී ලංකා ප්‍රාදේශිය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශිය ලේකම්වරුන්ගේ සංගමය කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම්ට යෝජනා කර තිබේ.
" ඉඩම් රාජකාරී සඳහා අහිතකර දේශපාලන මැදිහත්වීම් සිදු කිරීම වළක්වාලනු පිණිස ගරු අමාත්‍යතුමා වෙත හෝ නියෝජ්‍ය අමාත්‍යතුමා වෙත ඉදිරිපත් වන මහජන ඉල්ලීම් සම්බන්ධයෙන් නිරීක්ෂණ ලබා ගැනීමේදී ඔබගේ අධීක්ෂණය යටතේ අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකු, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයකු හෝ, කෘෂි කර්ම, පශු සම්පත්, ඉඩම් හා වාර්මාර්ග අමාත්‍යංශ කාර්යාලයේ ඒ සඳහා නම් කළ නිලධාරීවරයෙකු හරහා අප වෙත යොමු කිරීමෙන් ගැටළුකාරී තත්වයන් ඇති වීම මඟ හරවා ගත හැකි බවත්, එසේ නොමැතිව ඉඩම් ගැටළු නිරාකරණය සඳහා එක් පාර්ශවයක් වෙත පමණක් දේශපාලන අධිකාරිය විසින් නිකුත් කරනු ලබන ලිපියක් රැගෙන අදාල ගැටළු නිරාකණය සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත පැමිණිමේදී අදාල ආරවුල් සම්බන්ධයෙන් තීරණ ගැනීම විනිවිධ භාවයෙන් සිදු කිරීමට නොහැකි බවත්, එමඟින් ජනතාව රාජ්‍ය යාන්ත්‍රණය කෙරෙහි ඇති විශ්වාසය පළුදු වන බවත් අප සංගමයට නිරීක්ෂණය වී ඇත."
එබැවින් ඉඩම් රාජකාරී ඉටු කිරීමට අදාලව අහිතකර ලෙස දේශපාලන මැදිහත් වීම් සිදු කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන ශ්‍රී ලංකා ප්‍රාදේශිය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශිය ලේකම්වරුන්ගේ සංගමය සිය ලිපිය මගින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම්ගෙන් ඉල්ලා ඇත්තේ මින් ඉදිරියට ඉඩම් රාජකාරී වලදී දේශපාලන අධිකාරිය විසින් සිදු කරනු ලබන අනිසි මැදිහත් වීම් වළක්වා ගැනීමට දේශපාලන අධිකාරිය වෙත ඉදිරිපත් වන ඉඩම් ගැටළු අදාල කාර්යාල වෙත යොමු කිරීම සඳහා සුදුසු යාන්ත්‍රණයක් සකස් කිරීමට කටයුතු කරන ලෙසයි.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම් වෙත යොමු කළ එම ලිපියේ පිටපත් කෘෂිකර්ම පසු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය, ජනාධිපති ලේකම්, රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්, ඉඩම් කොමසාරිස් ජනරාල්, සියළුම දිස්ත්‍රික් ලේකම්වරු හා සියළුම ප්‍රාදේශිය ලේකම්වරු වෙත යොමු කිරීමටත් ශ්‍රී ලංකා ප්‍රාදේශිය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශිය ලේකම්වරුන්ගේ සංගමය ක්‍රියා කර තිබේ.
