ආණ්ඩුවේ ජනප්‍රියතාව සියයට 65ක් නම්, පළාත් සභා පවත්වා ජයග්‍රහණය කර පෙන්වන්න - වෛද්‍ය චමල් සංජිව

ආණ්ඩුවේ ජනප්‍රියතාව සියයට 65ක් නම්, පළාත් සභා පවත්වා ජයග්‍රහණය කර පෙන්වන්න - වෛද්‍ය චමල් සංජිව

ආණ්ඩුවේ ජනප්‍රියභාවය සියයට 65ක් පවතින්නේ නම් පළාත් පාලන ආයතන ආණ්ඩුකාර පාලනයෙන් ඉවත් කර, පළාත් සභා යටතේ පළාත් පාලන ආයතන ක්‍රියාත්මක කිරීම ආණ්ඩුව වහාම සිදුකළ යුතු යැයි දෙහිවල ගල්කිස්ස නාගරික මන්ත්‍රී වෛද්‍ය චමල් සංජීව පැවසී ය.

ඔහු මෙම අභියෝගය කළේ සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ  අද (19) පැවැති මාධ්‍ය හමුවේ දී ය.

එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ වෛද්‍ය චමල් සංජීව...

 

මහපොළොවේ යථාර්ථය

''ආණ්ඩුව කෙරෙහි තිබෙන ජන ප්‍රසාදය සියයට 65 ක් බව පසුගිය සතියේ දී ආණ්ඩුවට හිතවත් මාධ්‍ය භාවිතා කරමින් සමාජ ගත කරන්න ආණ්ඩුව දැඩි උත්සාහයක නිරත වුණා. නමුත් මහපොළොවේ යථාර්තය මෙම සමීක්ෂණයට වඩා සම්පුර්ණයෙන් ම වෙනස් බව පසුගිය මාස කිහිපයේදී ජනතාව සමග කතාබහ කිරීමේ දී අනාවරණය වුණා. ආණ්ඩුවේ ජයප්‍රියතාවය ඉතා ඉහළ අගයක තිබෙනවානම් , ආණ්ඩුව ලබාදෙන දේශපාලන පොරොන්දු සම්බන්ධයෙන් දේශපාලඥයින් තෘප්තිමත් නම්, අධ්‍යාපනය, සෞඛ්‍ය, ආර්ථිකය, කෘෂිකර්මය, බලශක්තිය ඇතුළු සියලු අංශ සම්බන්ධයෙන් ජනතාව බලාපොරොත්තු වුණ වෙනස ඇති වී තිබෙනවා නම් කඩිනමින් පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස සමගි ජනබලවේගය ආණ්ඩුවට අභියෝග කරනවා. පළාත් පාලන ආයතවල තින්දු තීරණ ගැනීමේ දී පළාත් සභාව හරහා සිදුවීමට තිබෙන අනුමැති සහ නව නීති රිති සම්මත වීම් අවශ්‍ය වෙනවා. නමුත් මේ වනවිට පළාත් පාලන ආයතන ක්‍රියාත්මක වන්නේ ආණ්ඩුකාර පාලනයක් යටතේ. ඒ නිසා පළාත් පාලන ආයතන ආණ්ඩුකාර පාලනයෙන් ඉවත් කර පළාත් සභා යටතේ පළාත් පාලන ආයතන ක්‍රියාත්මක කිරීම ආණ්ඩුව වහාම සිදුකළ යුතුයි. ආණ්ඩුවේ ජනප්‍රියභාවය සියයට 65 ක් වන නිසා එය සිදුකරන්න ආණ්ඩුව බලයක් තිබෙනවා.

 

ජනපති හොඳට ම දන්න දේ...

වෘත්තියවේදීන් විසින් සමාජයේ විවිධ පුද්ගලයන් සමග සිදුකළ සමීක්ෂණවල දී , මතවිමසුම්වල දී, ආණ්ඩුව ප්‍රකාශ කරන ආකාරයට වඩා සමාජයේ තත්ත්වය වෙනස් බව පෙනෙන්න තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරණයෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ආණ්ඩුව කෙරෙහි සියයට 60ක පමණ ජනතා ප්‍රසාදයක් තිබුණා.  නමුත් පළාත් පාලන මැතිවරණය වනවිට ආණ්ඩුවේ ජනප්‍රියතාවය සියයට 42 ක් දක්වා පහළට කඩාගෙන වැටෙනවා.  නමුත් මධ්‍යම පාන්තිකයන් සහ වෘත්තියවේදින් සමග සිදුකළ මතවිමසුම්වල දී මේ වනවිට ආණ්ඩුවේ ජනප්‍රියභාවය සියයට 25 ක් දක්වා අඩුවී තිබෙනවා. මෙම අඩුවීම ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට වඩා ජනාධිපති අනුර දිසානායක හොඳින්ම දන්නා කාරණයක්.

 

වෙරිටේ රිසච් ආයතනය මුදා හැරි වාර්තාව අසත්‍ය යි

දමිළ සහ මුස්ලිම් ප්‍රජාව තුළ ආණ්ඩුව කෙරෙහි තිබෙන විශ්වාසය මධ්‍යස්ථ අගයක පවතින අතර සිංහල බෞද්ධ ජනසමාජය තුළ ආණ්ඩුව කෙරෙහි තිබෙන විශ්වාසය සියයට 35 දක්වා අඩුවී තිබෙනවා. ඒ නිසා ජනාධිපතිවරයා සහ ආණ්ඩුව උතුරු නැගෙනහිර ඡන්ද කෙරෙහි දැඩි අවදානයක් යොමු කර තිබෙනවා. ඉහළ මධ්‍යම පාන්තිකයන් සහ, පහළ මධ්‍යම පාන්තිකයන් අතර ආණ්ඩුව පිළිබඳව යම් විශ්වාසයක් තිබුණත් සාමාන්‍ය මධ්‍යම පාන්තිකයන් තුළ ආණ්ඩුව කෙරෙහි තිබෙන ප්‍රසාදය අඩුවී තිබෙනවා. ආණ්ඩු පාර්ශ්වයේ ක්‍රියාකලාපයන් මෙම කඩාවැටීමට සෘජුව බලපා තිබෙනවා.  වර්තමාන ජාතික ජනබලවේග ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා විශාල දායකත්වයක් ලබාදීමට රටේ වෘත්තියවේදීන් කටයුතු කළා. නමුත් රටේ බහුතරයක් නියෝජනය කරන රටේ මධ්‍යම පාන්තික වෘත්තියවේදීන් තුළ ආණ්ඩුව කෙරෙහි තිබුණ විශ්වාසය කැපී පෙනෙන ලෙස අඩුවී ගොස් තිබෙනවා. කෙසේ නමුත් වෙරිටේ රිසච් ආයතනය මුදාහැරපු වාර්තාව අසත්‍ය බව මෙම දත්තවලින් පෙනී යනවා. ඒ වගේම ආණ්ඩුව කෙරෙහි තිබු සෑබෑ ජනමතය ක්‍රමයෙන් විතැන් වෙමින් යන බවක් පෙනෙන්න තිබෙනවා. මෙම තත්ත්වය ග්‍රහණය කර ගන්නවා වෙනුවට ස්කීය ඒකාධිපති ස්වරූපය භාවිතා කරමින් වෘත්තියවේදීන්ට තර්ජනය කරමින් ඔවුන්ගේ පාලනය ගෙන යන්න දැඩි උත්සාහයක නිරත වෙනවා. මේ නිසා මධ්‍යම පාන්තික ජනතාව කෙරෙහි ආණ්ඩුව තුළ තිබුණ විශ්වාසය සීඝ්‍ර කඩාවැටීමකට පත්වෙනවා.

 

මෙන්න මේ ටික කළා නම්...

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇතිවුණ තත්ත්වයක් කළමනාකරණය කර ගත්තා නම්, මිනිස්සුන්ට අගරු චෙක්පත් දුන්නේ නැති නම්, තහඩුවකට ලක්ෂ 10 ක් දුන්නා නම්, බහලුම් වංචාවට, ගල් අගුරු වංචාවට හසුවුණ පුද්ගලයන්ට දඩුවම් දුන්නා නම්, අල්ලස් කොමිසම මගින් අධි චෝදනා ගොනු කිරීමට නියමිත ඇමැතිවරුන්ට අධිචෝදනා ගොනු කළානම්, පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් අනාවරණය කළා නම්, ආණ්ඩුව ප්‍රකාශ කළ මහා පරිමාන වංචා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළා නම්, අධ්‍යාපන පද්ධතිය, සෞඛ්‍ය පද්ධතිය, කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යාපාර ශක්තිමත් කළා නම්, ගොවි ජනතාව, ධිවර ජනතාව ශක්තිමත් කළා නම්, ආණ්ඩුවට පුළුවන් කඩිනමින් පළාත් සභා මැතිවරණය පවත්වන්න. නමුත් එවැනි තත්ත්වයක් පෙනෙන්න නැහැ.

 

ආණ්ඩුව, මඩ පෝස්ටර් නිර්මාණය කරන තැනට වැටිලා

රජයේ අමාත්‍යාංශවල මුදල් විපක්ෂයට මඩ ගැසීම සඳහා භාවිතා කරන්න ආණ්ඩුව කටයුතු කරනවා. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් උපත් පාලන ක්‍රම සහ උපත් පාලන කොපු පිළිබඳව දැන්වීමක් ප්‍රචාරය කර තිබුණා. එම දැන්වීම් තුළට රටේ දේශපාලඥයින් යැයි හැඳවෙන කාටුන් නිර්මාණය කිරීමට තරම් පහළ මට්ටමකට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අනෙකුත් අමාත්‍යාංශ පත්ව තිබෙනවා. කෙසේ නමුත් මීට පෙර සිටි සෞඛ්‍ය ඇමැතිවරු සෞඛ්‍ය අමාත්‍යාංශය සෘජුවම දේශපාලන කටයුතු සඳහා භාවිතා කළේ නැහැ.  නමුත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයෙ ඇමැතිවරයා ඔවුන්ගේ කණ්ඩායම් භාවිතා කරමින් විපක්ෂයට එරෙහිව මඩ පෝස්ටර් නිර්මාණය කරන තත්ත්වයට ඇද වැටී තිබෙනවා. මඩ පෝස්ටර් නිර්මාණය කරන පක්ෂයක් ඔවුන්ගේ ජනප්‍රියතාවය සියයට 65 ක් බව ප්‍රකාශ කරන විට ජනතාව එය පිළිගන්නේ නැහැ. 

 

සෞඛ්‍ය අමාත්‍යාංශය ලැජ්ජා විය යුතුයි

ඒ වගේම රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බරපතළ ගැටලු ගණනාවක් තිබෙනවා. රටේ පිළිකා රොගින්ට ලබාදෙන ඖෂධ කාණ්ඩ 40 කට වැඩි ප්‍රමාණයක් හිඟයි. අත්‍යාවශ්‍ය සහ අත්‍යාවශ්‍ය නොවන ඖෂධ වර්ග 100 කට වැඩි ප්‍රමාණයක් හිඟයි. ඒ වගේම පුද්ගලික සෞඛ්‍ය සේවා සපයන ආයතනවලට කොළඹ ජාතික රෝහල යට වී තිබෙනවා. මේවා නතර කර ගන්නයි ජනතාව ජාතික ජනබලවේග ආණ්ඩුවට බලය ලබා දුන්නේ. කොළඹ මහ රෝහලේ දී රසායනාගාර පරීක්ෂණයක් සිදුකරන්න පිටින් රුපියල් 40,000 ක පමණ බෙහෙත් පිටතින් ගන්න සිදුවෙලා තිබෙනවා. CTR එන්ජිඕ ග්‍රෑම් පරීක්ෂණ පිටතින් කරගන්න රෝගින්ට සිදුවී තිබෙනවා. වකුගුඩු රෝගින් විශාල මුදලක් වැය කර පරික්ෂණ පිටතින් සිදු කරගන්න වෙලා තිබෙනවා. රෝහලේ ලබාදෙන ඖෂධ ලැයිස්තුවෙන් සියයට 60ක් පමණ පිටතින් ගන්න සිදුවෙලා තිබෙනවා. මෙතරම් ප්‍රශ්න ගණනාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ තිබිය දී විපක්ෂය එල්ල කරගනිමින් මඩ දේශපාලන ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීම ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය ලැජ්ජා විය යුතුයි. ඒ වගේම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පැලවත්තේ ප්‍රචාරක අංශට බවට පත්ව තිබෙනවා.

 

ආණ්ඩු පාර්ශ්වයේ මැති ඇමැතිවරුන්ගේ ඒකාධිපති ෆැසිස්ට්වාදි ප්‍රකාශ

පුද්ගලික දේශපාලන කටයුතු සඳහා රාජ්‍ය මුදල් යොදාගැනීම සම්බන්ධව අල්ලස් කොමිසමට පැමිණිලි කරන්න සමගි ජනබලවේගය කටයුතු කරනු ලබනවා.  විපක්ෂය එල්ල කරමින් මඩ ව්‍යාපාර දියත් කරන්න පසුගිය ආණ්ඩු රජයේ ආයතන භාවිත කළේ නැහැ. ලංකාවේ කිසිදු සෞඛ්‍ය ඇමැතිවරයෙක් විපක්ෂයට මඩ ගහන්න සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ වෛද්‍යවරු භාවිතා කළේ නැහැ. මෙතරම් පහළ තත්ත්වයකට ජාතික ජනබලවේග ආණ්ඩුව වැටී තිබෙන අවස්ථාවක වෙරිටෙ රිසච් ආයතනයේ වාර්තා පිළිගන්නේ කෙසේද? ඒ වගේම මහා භාණ්ඩාගාරය පිරුණ බව ආණ්ඩුව කිව්වත් මහ පොළොවේ මිනිස්සු ජිවත් වෙන්න දැඩි දුකක් විඳිනවා. ඒ නිසා ආණ්ඩුව කෙරෙහි තිබෙන ජනතා ප්‍රසාදය දිනෙන් දින අඩුවෙමින් තිබෙනවා. ආණ්ඩු පාර්ශ්වයේ මැති ඇමැතිවරුන්ගේ ඒකාධිපති ෆැසිස්ට්වාදි ප්‍රකාශ වෘත්තියවේදින් සහ රටේ මහජනතාව හෙළා දකිමින් සිටිනවා.

 

ආණ්ඩුවේ උත්සාහය රට බුද්ධිමය කාන්තාරයක් බවට පත් කරන්න

ඒ වගේම වෘත්තියවේදියෙකුට තමන්ගේ රැකියාව සිදුකිරීමට නොහැකි අනාරක්ෂිත තත්ත්වයක් රටේ නිර්මානය වී තිබෙනවා. ආණ්ඩුව මෙය සැලසුම් සහගතව සිදුකරන දෙයක්. ඒ නිසා සමස්ත ප්‍රජාවේම ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතුවී තිබෙනවා. ආණ්ඩුවේ සියයට තුන සතුටු කිරීම සඳහා වෘත්තියවේදීන් ඇතුළු සමස්ත ප්‍රජාව සම්බන්ධයෙන් ව්‍යාජ පුවත් සමාජ ගත කරමින් , වෘත්තියවේදීන් රටින් පිටව යන තත්ත්වයකට ආණ්ඩුව මතවාදයක් ගොඩනගමින් සිටිනවා. උගතුන් බුද්ධිමතුන් රටේ සිටියහොත් ආණ්ඩුවේ ක්‍රියාකලාප ප්‍රශ්න කරන නිසා ශ්‍රී ලංකාව බුද්ධිමය කාන්තාරයක් බවට පත් කරන්න ආණ්ඩුව උත්සහ දරනවා. රටේ නුගතුන් පිරුණ ගෝත්‍රිකයන් පිරුණ රටක් නිර්මාණය වනවාට ආණ්ඩුව කැමැතියි. ඒ නිසා ඉතාමත් ඉවසීමෙන් මතවාදිව ආණ්ඩුවේ වැරදි සම්බන්ධයෙන් නිර්භයව ප්‍රකාශ කිරීම උගතුන්ගේ සහ බුද්ධිමතුන්ගේ වගකීමක්.

 

සියලුම වෘත්තියවේදින් ගේ ආරක්ෂාව වෙනුවෙන්, ඔවුන් ගේ ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන්, ඔවුන් ගේ සාධාරණ වෘත්තිය සටන් වෙනුවෙන් කොන්දේසි විරහිතව සමගි ජනබලවේගය සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙනී සිටිනවා. කෙසේ නමුත් මහජනතාවට වුණ පොරොන්දු ඉටු කර හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පවත්වන්න රජය වහාම කටයුතු කළ යුතුයි. ඒ වගේම රටේ මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න රජය වහාම පියවර ගත යුතුයි. විපක්ෂයේ මෙම පණිවිඩය ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව තේරුම් ගනිවි යැයි සමගි ජනබලවේගය විශ්වාස කරනු ලබනවා.''

Search