ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් මිලියන 800 කට අධික අලාභයක් සිදු කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගත් එහි හිටපු සභාපති ධම්මික රණතුංග මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ (15දා) නියෝග කළේය.
එම සිද්ධියේ සැකකරුවකු වශයෙන් එවකට හිටපු ඛනිජ තෙල් ඇමැති අර්ජුන රණතුංග මහතා ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිිපත් කරන බව අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේය.
අල්ලස් කොමිසමේ නිලධාරීන් හා ධම්මික රණතුංග මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් දැක්වූ කරුණු සලකා බලා මහෙස්ත්‍රාත්වරයා සැකකරු ඇප මත මුදා හැරියේය.
ඉකුත් 2017 – 18 වර්ෂවලදී ධම්මික රණතුංග මහතා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ කාලසීමාවේදී මෙම අලාභය සිදුවී ඇති බව අල්ලස් කොමිසම පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීම සඳහා ධම්මික රණතුංග මහතා ඊයේ (15දා) පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටියේය.
එහිදී ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව ඒ මහතා අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් අතර පසුව ඊයේ සවස අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.
වැඩි මිල ගණනන් යටතේ ස්ථානීය ටෙන්ඩර් ක්‍රියාත්මක කිරීම තුළින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් මිලියන 800ක පාඩුවක් සිදු කළ බවට ඒ මහතා වෙත චෝදනා එල්ල වී තිබෙයි