අපහාස කළැයි නාමල් වටගලගෙන් බිලියනයක් වන්දි ඉල්ලයි

 අපහාස කළැයි නාමල් වටගලගෙන් බිලියනයක් වන්දි ඉල්ලයි

ශ්‍රී ලංකා පොදුජන පෙමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂට එරෙහිව කරනු ලැබූ අපහාසාත්මක සහ ද්වේෂසහගත ප්‍රකාශය සම්බන්ධයෙන් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා නීතිඥයෙකු මාර්ගයෙන් ඊයේ (සැප්. 10) මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය ඇමති සුනිල් වටගලට එන්තරවාසියක් යවා ඇත.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී ඊයේ පෙරවරුවේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් පක්ෂයේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මේ බව කියා සිටියේය.

නාමල්‍ රාජපක්ෂගේ ඡායාරූප පෙන්වමින් ඉතාම වංචනික ආකාරයට කිසිදු පදනමකින් තොරව සාවද්‍ය ලෙස මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට පටලවන්න දරපු උත්සාහයට විරුද්ධව නීතිමය කටයුතු ආරම්භ කළ බවද හෙතෙම සඳහන් කළේය.

මෙයට අදාළව නීතිඥ සංඛ කරුණාරත්න මාර්ගයෙන් ඊයේ පෙරවරුවේ එන්තරවාසියක් යැවූ බව පැවැසූ ඒ මහතා මින්පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හෝ එහි කිසියම් නායකයකුට විරුද්ධව කිසියම් පුද්ගලයෙක් අසත්‍ය ප්‍රකාශයක් කරනවා නම් ඒ සියලු දෙනාට විරුද්ධව දැඩිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඒ සඳහා වෙනම විශේෂ නීතිඥ කණ්ඩායමක් පත්කර ඇති බවත් මෙය එහි පළමුවැන්න බවත් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සාගර කාරියවසම් මෙසේ ද පැවසීය.

“අපි දකිනවා දැන් ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට ගිහිල්ලා මේ විපක්ෂයේ සිටින අපිටත් දැන් ඒ පරණ පුරුද්ද ම කරගෙන යනවා. මහින්ද රාජපක්ෂ කියන්නේ වෙනස් ආකාරයේ නායකයෙක්. එතුමාට විරුද්ධව මොනදේ ප්‍රකාශ කළත් එතුමා හැම විටම ප්‍රකාශ කර සිටියේ මගේ ගමන මම යනවා, මම කළයුතු දේ මම කරනවා, ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න අරින්න කියන මතයේ සිටියේ. නමුත් තවදුරටත් එවැනි මතයක ඉඳලා මෙය කරන්න බැහැ.

සමාජයේ බොරු වපුරලා සමාජ වෛරයක් ඇති කරලා ජනතාව කෙරෙහි මේ රටට වැඩකරන, රටට ආදරය කරන නායකයන්ව හොරු, බොරුකාරයන් බවට පත්කරනවා. මේ නිසා අපි තීරණය කළා මින් ඉදිරියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හෝ එහි කිසියම් හෝ නායකයෙක්ට විරුද්ධව කිසියම් හෝ පුද්ගලයෙක් අසත්‍ය ප්‍රකාශයක් කරනවා නම් විශේෂ නීතිඥ කණ්ඩායමක් මඟින් ඒ සියලුදෙනාට එරෙහිව ඉතා දැඩිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට. ඒ ක්‍රියාදාමයේ පළමු වැනි අදියර ලෙස අපි අද දින මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාට එරෙහිව නීතිමය කටයුතු කරන්න ආරම්භ කළා.”

Search