එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසිවාරය අද (08) දින ජිනීවා නුවරදී ආරම්භ වෙයි.
මෙම සැසිවාරය ලබන ඔක්තෝබර් 08 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.
මෙවර සැසිවාරයේදී ශ්‍රී ලංකා රජය වෙනුවෙන් අමාත්‍ය විජිත හේරත් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත අතර, ඔහු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයින් කිහිපදෙනෙකු සමඟ සාකච්ඡා පැවැත්වීමටද නියමිතය.
එසේම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් ශ්‍රී ලංකාවේ සිදුකළ සංචාරයෙන් පසු ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් රජයේ නිල පිළිතුර මානව හිමිකම් කවුන්සිලයට භාර දී තිබෙන බවද වාර්තා වෙයි.
එම පිළිතුරෙහි සඳහන් වන ප්‍රධාන කරුණු අතර ශ්‍රී ලංකාව පවසන්නේ බාහිර මැදිහත්වීම් ජාතික ප්‍රයත්නයන්ට බාධාවක් වන අතර, ජනතාව ධ්‍රැවීකරණය කිරීමට පමණක් හේතු වන බවයි. එබැවින්, ජාත්‍යන්තර ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වාර්තාවේ ඉදිරිපත් කර ඇති නිගමන සහ නිර්දේශ සමඟ ශ්‍රී ලංකා රජය එකඟ නොවන බව එහි දැක්වේ.
එසේම ජාතිය, ආගම, පන්තිය සහ කුලය මත පදනම් වූ කිසිදු වෙනස්කමකින් තොරව සියලු ජනතාවගේ විවිධත්වයට ගරු කරන රටක් ගොඩනැගීමට රජය කැපවී සිටින බව ශ්‍රී ලංකාව අවධාරණය කරයි.
තවද ශ්‍රී ලංකාව තුළ ජාතිවාදය හෝ අන්තවාදය නැවත ඇතිවීමට ඉඩ නොදීම රජයේ ප්‍රධාන අධිෂ්ඨානයක් බව ද එහි සඳහන් වේ.
එමෙන්ම ශ්‍රී ලංකාව දේශීය ක්‍රියාවලියක් ඔස්සේ ඉදිරියට යන බැවින්, ජාත්‍යන්තර ප්‍රජාවේ අවබෝධය, දිරිගැන්වීම සහ සහයෝගය අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කරයි.
මේ අනුව, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව ඉදිරි දින කිහිපය තුළදී මෙම සැසිවාරයේදී පුළුල් සාකච්ඡාවක් සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ