ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ ශලින්ත නොහොත් පිට්ටුවා, පාණදුරේ නිලංග, බැකෝ සමන් සහ තැඹිලි ළහිරු යන පාතාලයේ අපරාධකරුවන්ගේ මෙරට ජාලයට සම්බන්ධ දේශපාලනඥයන්, පොලිස් නිලධාරීන්, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, කුලී ඝාතකයන් ඇතුළු සිය ගණනකගේ තොරතුරු හඳුනාගනිමින් ඔවුන් කොටු කරගැනීමට ඉදිරියේදී පුළුල් මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානමින් සිටියි.
මෙම පාතාල අපරාධකරුවන්ගේ ජාලය හඳුනාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පහසුවක් වී ඇත්තේ ඉන්දුනීසියාවේදී මෙම පාතාල අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නා විට ඔවුන් සතුව තිබී සොයාගත් ජංගම දුරකතන, ලැප්ටොප් ඇතුළු උපකරණ ද ඉන්දුනීසියා පොලීසිය මෙරටට භාරදී ඇති බැවිනි.
මෙයට පෙර විදේශයන්වලදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ බොහෝ අපරාධකරුවන් භාවිත කළ ජංගම දුරකතන මෙරටට ලැබී තිබුණේ නැත. එබැවින් එම පාතාල අපරාධකරුවන්ගේ මෙරට ජාලය හඳුනා ගැනීම දුෂ්කර කාර්යයක් බවට පත්විය. එහෙත් මෙම පාතාල අපරාධකරුවන් සියලු දෙනාගේ ජංගම දුරකතන ඔවුන් ද සමඟ මෙරටට භාර දුන් බැවින් මෙතෙක් කාලයක් මෙම අපරාධකරුවන් සමඟ සම්බන්ධකම් පවත්වමින් අපරාධවලට ආධාර හා අනුබල දුන් පුද්ගලයන් මෙන්ම ඔවුන්ගේ මත්කුඩු ජාලයේ සැඟවුණු තොරතුරු ගොන්නක්ම හෙළිකර ගැනීමට හැකිවනු ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල අපරාධකරුවන් පස් දෙනා විසින් විදේශගතව රැඳී සිටිමින් වෙඩි තැබීම් සහ මිනිස් ඝාතන රැසක් මෙහෙයවා තිබුණි. ඒ සෑම මිනිස් ඝාතනයක් සහ වෙඩි තැබීමකටම තොරතුරු ලබාදුන් සැඟවුණු චරිත පවා හෙළිකර ගැනීමට හැකි වනු ඇති බව පොලීසිය විශ්වාස කරයි.
කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධකරුවන් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගන්නා විට ඔවුන් සතුව තිබී ඇත්තේ ව්‍යාජ නම්වලින් සකස් කර තිබුණු විදෙස් ගමන් බලපත්‍රය. එම විදෙස් ගමන් බලපත්‍ර ඔවුන් කොටු කරගැනීමට මෙරටින් ඉන්දුනීසියාවට ගිය සහකාර පොලිස් අධිකාරිවරු දෙදෙනා විසින් සිය භාරයට ගෙන තිබිණි. මෙරටට ඔවුන් රැගෙන ඒම සඳහා ඔවුන්ගේ සැබෑ නම්වලින් තාවකාලික විදේශ ගමන් බලපත්‍ර පවා සකස් කිරීමට එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පියවර ගත්තේය. මේ වන විට ඔවුන් සතුව තිබුණු ව්‍යාජ නම්වලින් සකස් කළ විදේශ ගමන් බලපත්‍ර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුවය. එම විදෙස් ගමන් බලපත්‍ර ඔවුන් සකස් කරගෙන ඇත්තේ ද විදේශගතව සිටියදීය. ඒ සඳහා විශාල මුදලක් ඔවුන් වැයකර ඇති බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දූෂිත නිලධාරීන්ගේ සහයෝගය ඒ සඳහා ලැබී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශ්වාස කරයි. එම විදෙස් ගමන් බලපත්‍ර සකස් කිරීමට ඍජුව සහ වක්‍රව පවා සම්බන්ධ වූ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ද උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
කෙහෙල්බද්දර පද්මේ ඇතුළු කණ්ඩායම කොටුකර අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම මෙරට පොලිස් නිලධාරීන් දෙදෙනකුගේ ද සහාය ඇතිව ක්‍රියාත්මක කර ඇත්තේ ඉතා රහසිගතවය. එසේ තිබියදීත් අවසාන දිනයේදී එම මෙහෙයුම සම්බන්ධයෙන් තොරතුරු කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිසට දැනගන්නට ලැබී ඇති බව සඳහන්ය. ඒ සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමු කරමින් විමර්ශන පැවැත්වෙන බව උසස් පොලිස් නිලධාරියා කීය. කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධකරුවන් මත්කුඩු ජාලයෙන් උපයා ගන්නා මුදල් උණ්ඩියල් ක්‍රමයට ඔවුන්ට මෙතෙක් කාලයක් ලද ආකාරය මෙන්ම ඊට සම්බන්ධ මෙරට ජාලයේ තොරතුරු ද විමර්ශන ඔස්සේ අනාවරණය කරගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානමින් සිටියි. ඩුබායි සහ ශ්‍රී ලංකාව අතර නීත්‍යනුකූල මෙන්ම නීත්‍යනුකූල නොවන ක්‍රම ඔස්සේ ව්‍යාපාරවල නිරතව සිටින ව්‍යාපාරික කණ්ඩායමක් ගැන ද මෙහිදී බුද්ධි අංශ විශේෂ අවධානයෙන් සිටියි.
අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල අපරාධකරුවන් මෙරටට පෙරේදා (31) ගෙන ඒමට ඉන්දුනීසියානු පොලීසියේ 12 දෙනකුගේ කණ්ඩායමක් ලබාදීමට ඉන්දුනීසියානු බලධාරීන් කැමැත්ත පළකර තිබී ඇත. එහෙත් ඉන්දුනීසියාව තුළ ඇතිවූ අනපේක්ෂිත ගැටුම්කාරී තත්ත්වයක් හමුවේ මෙරටින් නිලධාරීන් තිදෙනෙකු ඉන්දුනීසියාවට 31 වැනිදා උදෑසන යැවීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය අවශ්‍ය පියවර ගෙන තිබිණි.
ඒ අනුව එම නිලධාරීන් තිදෙනාත් එරට රැඳී සිටිමින් මෙහෙයුමට සම්බන්ධව සිටි සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනාත් ඉන්දුනීසියානු පොලීසියේ නිලධාරීන් 07 දෙනකුත් මෙම අපරාධකරුවන් රැගෙන මෙරටට ඒමට පියවර ගත්තේය. මෙතරම් නිලධාරීන් පිරිසක් මෙම පාතාල අපරාධකරුවන් පස් දෙනා රැගෙන ඒමට යෙදවීමට සිදුව ඇත්තේ ගුවන් මඟින් මෙවැනි අපරාධකරුවන් රැගෙන ඒමේදී පිළිපැදිය යුතු ජාත්‍යන්තර ආරක්ෂක පියවර අනුගමනය කරමිනි.
මෙම අපරාධකරුවන්, ඉන්දුනීසියා පොලීසියේ නිලධාරීන් ඇතුළු මෙරට පොලිස් කණ්ඩායම විසින් රැගෙන එනු ලබන්නේ සිවිල් ඇඳුමින් සැරසීය. ඒ එන ගමනේදී ගුවන්යානයේ සිටි සෙසු කිසිදු මගියෙක් එම යානයේ අපරාධකරුවන් පිරිසක් රැගෙන එන බව නොදැන සිටීම ද විශේෂිතය.
ගුවන්යානය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩබැස්සවීමෙන් අනතුරුව සෙසු මගීන් යානයෙන් පිටතට ගමන් කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අසංක කරවිට මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් ගුවන්යානය වෙත ගොඩවී සැකකරුවන් මෙරටදී අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇත. අනතුරුව ඔවුන්ව ආරක්ෂිතව ගුවන් තොටුපොළින් පිටතට ගෙන විමර්ශන අංශ වෙත රැගෙන යෑමට පියවර ගෙන තිබේ. උඩුගම්පොල කෙහෙල්බද්දර ඉහළ කුඹුර 18/08 ලිපිනයේ පදිංචිකරුවෙක් වූ 37 හැවිරිදි වියේ පසුවන කේ.ජී. මන්දිනූ පද්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පද්මේ විමර්ශන කටයුතු සඳහා භාරදී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණීජ අපරාධ විමර්ශන අංශය ( III) වෙතය.
නීති විරෝධි ගිනි අවි භාවිත කරමින් පුද්ගල ඝාතන මෙහෙයවීම, මත්ද්‍රව්‍ය ඇතුළු සංවිධානාත්මක අපරාධ සිදු කිරීම, පොලිස් නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයන් ඝාතනය කරන බවට තර්ජනය කිරීම, පසුගිය පෙබරවාරි 19 වැනිදා කොළඹ අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයේදී ගණේමුල්ල සංජීව යන අය ඝාතනය කර විනිසුරුතුමිය ඇතුළු කාර්ය මණ්ඩලය භීතියට පත්කිරීමේ අපරාධය සැලසුම් කිරීම ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා මෙම අපරාධකරුට දැනට එල්ලවී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අංක 24, නව නගර නිවාස, ඉඹුල්ගස්වාඩියවත්ත, දෙමන් හන්දිය, කටාන ලිපිනයේ පදිංචිකරුවෙක් වන 38 හැවිරිදි පී. ශලින්ත මදුෂාන් පෙරේරා නොහොත් කමාන්ඩෝ ශලින්ත විමර්ශන කටයුතු සඳහා භාරදී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය (I) වෙතය. දිවයිනේ විවිධ ප්‍රදේශවල පසුගිය කාලවකවානුව තුළ සිදුවූ බිහිසුණු මනුෂ්‍ය ඝාතන, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්, කොල්ලකෑම්, කප්පම් ගැනීම්, පැහැර ගැනීම් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
වෘත්තියෙන් වායු සමීකරණ ශිල්පියෙක් ලෙස කටයුතු කර පසුව පාතාල අපරාධවලට යොමුවූ පුද්ගලයෙක් වන අංක 09/ඊ අලුබෝගහවත්ත, සුසාන භූමිය පාර, පින්වල, පානදුර ලිපිනයේ පදිංචිකරුවෙක් වූ 36 හැවිරිදි පී. නිලංග සම්පත් සිල්වා විමර්ශන කටයුතු සඳහා භාරදී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශය (III) වෙතය.
ඉන්දුනීසියාවෙන් මෙරටට රැගෙන ආ පාතාල අපරාධකරුවන් අතර සිටි සෙසු සැකකරුවන් දෙදෙනා විමර්ශන කටයුතු සඳහා භාරදී ඇත්තේ බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාශයටය. අංක 197/02 පදලංගල ගෙදර, උලහිටියාව, මිද්දෙණිය ලිපිනයේ පදිංචිකරුවෙක් වන 35 හැවිරිදි වියැති එන්.එන්. ප්‍රසංග නොහොත් බැකෝ සමන්ත සහ අංක 119/01,ඒ, කුඩගල්ආර මිද්දෙණියේ පදිංචිකරුවෙක් වූ 29 හැවිරිදි වියැති පී.කේ. ළහිරු මධුසංඛ නොහොත් තැඹිලි ළහිරු මෙසේ බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයට භාරදී තිබේ.
බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ සිරමැදිරි පහසුකම් සලකා බලා වැඩි ආරක්ෂාවට මෙම සැකකරුවන් දෙදෙනා කොළඹ වරාය පොලිස් ස්ථානයේ රඳවා තබා ගැනීමට කටයුතු කර ඇති බව පොලීසිය සඳහන් කළේය.
මෙම අපරාධකරුවන් පස් දෙනා සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර දැනට පැය 72ක රැඳවුම් නියෝගයක් ලබාගෙන විමර්ශන පවත්වන බවත් පසුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධානයන්ට අනුව දින 90ක් රඳවාගෙන විමර්ශන පවත්වන බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.