අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් තමන්ට එරෙහිව නිකුත් කර තිබෙන වරෙන්තුව ප්‍රතිශෝධනය කර අවලංගු කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම විභාග කිරීමට තීන්දු කළ කොළඹ මහාධිකරණය එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙන අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු නිලධාරීන්ට නොතීසි නිකුත් කරන ලෙස නියම කළේය.
සිය සේවාදායකයා හෙට (29) දින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින බවත් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරෙන්තුව තාවකාලිකව අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස කළ ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් නොකළ කොළඹ මහාධිකරණ විනිසුරු ඉන්ද්‍රිකා කාලිංග වංශ වගඋත්තරකරුවන්ට නොතීසි පමණක් නිකුත් කරන බව සඳහන් කළේය.
රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම වරෙන්තුව නිකුත් කිරීමේ ක්‍රියාවලිය නීතියට පටහැනි බව පෙන්වා දුන්නේය.
එහිදී 2013 වසරේ ලැබුණු නිර්නාමික පැමිණිල්ලකට අනුව ධීවර වරාය නීතිගත සංස්ථාවේ “වැලිගොව්වා” නෞකාව අවභාවිතා කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විමර්ශනයක් ආරම්භ කර ඇති බව නීතිඥවරයා පැවසීය.
එසේම ඉකුත් ජූලි මස 02 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමට නොහැකි වූයේ උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් බවත්, ඒ පිළිබඳව අල්ලස් කොමිසමට වෛද්‍ය වාර්තා ඉදිරිපත් කළ බවත් නීතිඥවරයා කියා සිටියේය.
තවද අපරාධ නඩු විධාන සංග්‍රහයට අනුව වරෙන්තුවක් ලබා ගැනීමට පෙර සාක්ෂි මෙහෙයවීම අත්‍යවශ්‍ය වුවද, තම සේවාදායකයාට එරෙහිව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා විසින් වරෙන්තුව නිකුත් කර ඇත්තේ සාක්ෂි මෙහෙයවීමකින් තොරව බවටද ඔහු චෝදනා කළේය. එම නිසා මෙම වරෙන්තුව නීතියට පටහැනි බව ඔහුගේ තර්කය විය.
එමෙන්ම සිය සේවාදායකයා හෙට ( 29) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින බවත්, එම නිසා වරෙන්තුව තාවකාලිකව අත්හිටුවන ලෙසත් නීතිඥ කාලිංග ඉන්දතිස්ස ඉල්ලීමක් කළේය.
කෙසේ වෙතත්, මෙම ඉල්ලීම සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් නිකුත් නොකළ මහාධිකරණ විනිසුරුවරිය, පෙත්සමට අදාළව නොතීසි පමණක් නිකුත් කරන බව සඳහන් කළාය.
මෙම පෙත්සම නැවත සැප්තැම්බර් මස 10 වැනිදා සලකා බැලීමට නියමිතය.