ආනයනික සහල් තොග වෙළෙඳ පොළේ බහුලවීම නිසා තෙත වී කිලෝවක මිල රුපියල් 90ක් දක්වා පහත වැටී ඇති බවත්, පුන්නක්කු කිලෝවක මිල රුපියල් 93ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා පැවසීය.
ඉකුත් ජනවාරි පෙබරවාරි මාස තුළදී රජය විසින් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක පමණ තොගයක් ආනයනය කෙරුණු බවත්, එම සහල් කිලෝවක් මේ වනවිට රුපියල් 200සිට සතොස ශාඛා ජාලය තුළ අලෙවි කෙරෙන බවත් ඔහු පැවසුවේය. දැනට මාස දෙකක පමණ කාලයක් තිස්සේ සතොස ජාලය තුළ මෙලෙස අඩුවට සහල් විකිණෙන බවද ඔහු කීවේය.
සතොස ශාඛා ජාලය තුළ සහල් කිලෝව රුපියල් 200ට අලෙවි කරද්දී කුඩා පරිමාණ සහල් මෝල් හිමියන්ට සහල් කිලෝව රුපියල් 200කට වඩා වැඩි මුදලකට අලෙවි කිරීමට නොහැකි බවත්, ආනයනික සහල් තොග අඩුවට වෙළෙඳපොළේ විකිණීම නිසා දේශීය සහල්වලට තිබූ ඉල්ලුම අඩුවූ බවත් ඔහු පැවසීය. මෙලෙස සහල් මිල අඩුවීම නිසා වී මිලද පහත වැටී ඇතැයිද සභාපතිවරයා කීවේය. පුද්ගලික අංශය විසින් වී මිලදී ගනු ලබන්නේ වෙළෙඳපොළේ ස්ථාපිතවී තිබෙන සහල් මිල අනුව බවද ඔහු කීවේය.
මෙම මිල ස්ථාපිත කරනු ලැබුවේ සහල් ව්‍යාපාරිකයන් නොව වෙළෙඳ ඇමැතිවරයා විසින් බවද ඔහු පැවසීය.
රජය විසින් නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 120ක සහතික මිලක් නියම කර ඇතත්, මේ වනවිට වී කිලෝවක තොග මිල රුපියල් 110ත් 112ත් අතර මිලක් දක්වා පහත වැටී ඇතැයිද ඔහු කියා සිටියේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (19 වැනිදා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්සට මාධ්‍යවේදීන් කියා සිටියේ වී මිල මේ වනවිට පහතවැටී තිබෙන බවය. එහිදී, ඇමැතිවරයා කියා සිටියේ මේ වනවිට වී අලෙවි මණ්ඩලය විසින් ගොවීන්ගෙන් වී කිලෝග්‍රෑම් දෙකෝටි හය ලක්ෂ විසි අටදහසක පමණ ප්‍රමාණයක් මිලදීගෙන තිබෙන බවය.
‘‘අපි ගොවියාට සාධාරණ වන සහතික මිලක් වී සඳහා ප්‍රකාශයට පත්කර තිබෙනවා. පෞද්ගලික අංශයට පුළුවන් ඊට වඩා වැඩි මිලකට වී මිලදී ගන්න. ඒ අදාළ පිරිවිතයන්ට අනුව රජය වී මිලදී ගැනීම සිදු කරනවා. කවුරුත් අඩුවට ලබාදෙන්න අවශ්‍යතාවයක් නෑ. ඒ නිසා මේ වනවිට වී මිලදී ගන්න රජය රුපියල් මිලියන 2476ක් වැයකර තිබෙනවා.’’ යැයිද ඇමැතිවරයා පැවසීය