ආරක්ෂක නියෝජ්‍ය ඇමතිගේ විශ්වාසභංගය ගැන කතානායකගේ තීරණය කල් දමයි

ආරක්ෂක නියෝජ්‍ය ඇමතිගේ  විශ්වාසභංගය ගැන කතානායකගේ තීරණය කල් දමයි

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ තමාගේ තීරණය ඉදිරියේ දී පාර්ලිමේන්තුවට දැනුම්දෙන බව කථානායක ජගත් වික්‍රමරත්න මහතා අද (19) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ විපක්ෂයේ මන්ත්‍රීවරු 31ක් දෙනෙකුගේ අත්සනින් යුතු විශ්වාස බන්ධන යෝජනාව අගෝස්තු 12 වන දින තමා වෙත භාරදුන් බව කථානායකවරයා මෙහිදී පැවසීය.

ඒ අනුව අදාළ විශ්වාසභංග යෝජනාවේ ඇතුළත් කරුණු අධ්‍යයනය කර ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඉදිරියේ දී සභාවට දැනුම්දෙන බව ද කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය කතානායකවරයා වෙත භාර දෙන ලද එම විශ්වාසබංග යෝජනාව පිළිබඳව පසුගිය දිනකීපය තුළ දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතා බහට ලක්ව තිබිණි.

නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කළ නොහැකි බව ආණ්ඩු පක්ෂය පාර්ශ්වයෙන් අදහස් පළ කළ අතර විපක්ෂය තරයේ කියා සිටියේ එවැනි ගැටලුවක් මතු නොවන බවයි.

කෙසේ නමුත් මේ සම්බන්ධව කථානායකවරයාගේ තීරණය එන තෙක් විපක්‍ෂය දැඩි අවධානයෙන් පසුවිය.

Search