ශ්‍රී ලංකාවේ සිදුවූ දරුණු මානව හිමිකම් කඩවීමේ සිදුවීම්වල වින්දිතයන්ට යුක්තිය ඉෂ්ට කරගැනීමට නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය ප්‍රධාන බාධකයක් යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව ප්‍රකාශයට පත් කර ඇති නවතම වාර්තාවේ සඳහන් වේ.
‘ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය’ ලෙසින් නම් කර ඇති මෙම වාර්තාව සැකසුණේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්ටර් ටර්ක්ගේ ශ්‍රී ලංකා සංචාරයෙන් පසුව ය.
මානව හිමිකම් ක්ෂේත්රයේ විශාල සාකච්ඡාවක් නිර්මාණය කරමින් මේ සතියේ ප්‍රසිද්ධියට පත් කළ එම වාර්තාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයා විසින් සැප්තැම්බර් 8 වන දා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 60 වන සමුළුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
නීතිපති දෙපාර්තමේන්තුව සතුව ඇති සිය අභිමතය පරිදි නඩු පැවැරීම පිළිබඳ නිදහස, තහවුරු නොකළ සාක්ෂි මත ක්‍රියා කිරීමට ඇති අකැමැත්ත, සීමිත පොලිස් විමර්ශන ධාරිතාව සහ සුදුසුකම් ලත් අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ සහ දෙමළ කතා කරන නිලධාරීන්ගේ හිඟය යන වින්දිතයන්ට යුක්තිය ඉටුනොවීම කෙරෙහි බලපාන බව එම වාර්තාවේ සඳහන් ය.
එමෙන් ම, යුද සමයේ සිදුවූ මානව හිමිකම් කඩවීම්, ඒ ආශ්රිත ලිංගික ප්රචණ්ඩත්වය, ආරක්ෂක අංශ සාමාජිකයන් සම්බන්ධ නඩු සඳහා යුක්තිය ඉටු නොවීම අඛණ්ඩව සිදුව ඇති බව එම වාර්තාව පවසයි.
මේ නිරීක්ෂණ සඳහා සංකේතාත්මක සිද්ධීන් ලෙස වාර්තාවේ දක්වා ඇති එක් සිද්ධියක් වන්නේ, මේ දිනවල චෙම්මනි සමූහ මිනීවළේ කැණීමත් සමග යළි කතාබහට ලක්වී ඇති ක්‍රිෂාන්ති කුමාර්ස්වාමි දූෂණය කොට මරා දැමීමේ සිද්ධියයි.
එමෙන් ම, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ කාටූන් ශිල්පි ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම ද සංකේතාත්මක සිද්ධි ලෙස වාර්තාවේ දක්වා ඇත